‘දිග්ගැස්සෙන යුද්ධයෙන් දරුවනුත් මානුෂීය අර්බුදයක’ – යුනිසෙෆ්

මැදපෙරදිග යුදමය ගැටුම් උත්සන්න වීමත් සමඟ කලාපය පුරා දරුවන්ට එය විනාශකාරී හානියක් සිදු කරමින් පවතී.

යුනිසෙෆ් සංවිධානයේ වාර්තා පරිදි මෙම ගැටුම් හේතුවෙන් දරුවන් 340 කට වැඩි පිරිසක් මිය ගොස් දහස් ගණනක් තුවාල ලබා ඇත.

ඉරානයේ දරුවන් 216 දෙනෙකු මිය ගොස් 1,767 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ලෙබනනයේ දරුවන් 124 දෙනෙකු මිය ගොස් 413 දෙනෙකු තුවාල ලබා ඇත. එසේම ඊශ්‍රායලයේ දරුවන් සිව්දෙනෙකු මිය ගොස් 862 දෙනෙකු තුවාල ලබා ඇතැයි සදහන් වේ. කුවේට්හි එක් දරුවෙකු මිය ගොස් එක් දරුවෙක් තුවාල ලබා ඇති අතර බහරේනයේ දරුවන් සිව්දෙනෙකු ද ජෝර්දානයේ එක් දරුවෙකු තුවාල ලබා ඇත.

යුද්ධයේ පළමු දිනයේදී වාර්තා වූ වැඩිම ළමා අනතුරු සිදුවීම ලෙස ඉරානයේ ෂජාරේ ටයෙබෙහ් පාසලට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් දරුවන් 168 දෙනෙකු මිය යාමේ සිද්ධිය සැලකිය හැකිය.

රටවල් ගණනාවක ගැටුම් පාර්ශවයන් විසින් එල්ල කරන ලද නොනවතින ප්‍රහාර හේතුවෙන් රෝහල්, පාසල් සහ ජලය සහ සනීපාරක්ෂක පද්ධති ඇතුළුව ළමුන් යැපෙන පහසුකම් සහ යටිතල පහසුකම් විනාශ වී හානි වෙමින් පවතින බව ද යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි.

ගාසා තීරය සහ බටහිර ඉවුර ඇතුළුව පලස්තීන රාජ්‍යයේ එම කාලය තුළම සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පලස්තීන දරුවන් 16 දෙනෙකු මිය ගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

යුනිසෙෆ් සංවිධානයේ හි විධායක අධ්‍යක්ෂිකා කැතරින් රසල් කියා සිටියේ “කලාපයේ දරුවන් බිහිසුණු ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වෙමින් පවතින අතර, ඔවුන් ආරක්ෂිතව තබා ගැනීමට අදහස් කරන පද්ධති සහ සේවාවන් ප්‍රහාරයට ලක් වෙමින් පවතී,” “සිවිල් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට සහ දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගැටුම් ඇති සියලුම පාර්ශවයන්ට හදිසි ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.”යනුවෙනි.

එසේම බෝම්බ හෙලීම් සහ ඉවත් කිරීමේ නියෝග හමුවේ කලාපය පුරා, ළමුන් මිලියන 1.2 කට වැඩි පිරිසක් අවතැන් වී ඇත.

මෙවැනි ප්‍රචණ්ඩත්වයට සහ අස්ථාවරත්වයට දිගු කලක් නිරාවරණය වීම මොළයේ වර්ධනය, චිත්තවේගීය නියාමනය සහ දිගු කාලීන මානසික සෞඛ්‍යයට කල් පවතින බලපෑම් ඇති කරන්නකි.