ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ පක්ෂ නියෝජිතයින් රැසක්ම හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නිවසේදී විශේෂ සාකච්ඡාවකට සහභාගි වී තිබෙනවා.
ඊයේ (30) සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ නාරාහේන්පිට චිත්‍රා පටුමගේ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ නිවසේදී.
බාල ගල් අඟුරු හේතුවෙන් රටේ විදුලි නිෂ්පාදනයට සහ රටේ ආර්ථිකයට සිදුව ඇති බරපතල හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් නීතිමය පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමටත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.
ඊට අමතරව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මීට පෙර ගබඩා කර තිබූ තෙල් තොග සඳහා තෙල් මිල ඉහළ දැමීම, විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන රටපුරා ජනතාව දැනුවත් කිරීමටද මෙහිදී පක්ෂ නායකයින් කිහිපදෙනෙකුම යෝජනා ඉදිරිපත් කර ඇති බව සඳහන්.
මීට අමතරව මාලිමාවේ බාල ගල් අඟුරු යනුවෙන් රට පුරා ඒකාබද්ධ විපක්ෂය විසින් සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වු අතර පසුගිය දා අවිස්සාවේලේදී පැවැත් වූ සම්මන්ත්‍රණය සාර්ථක වූ බව පක්ෂ නායකයින් විසින් පෙන්වා දී තිබෙනවා.
මාලිමාවේ බාල ගල් අඟුරු යනුවෙන් ඒකාබද්ධ විපක්ෂ විසින් සංවිධානය කරනු ලබන මීළඟ සම්මන්ත්‍රණය මැයි මස මුලදී මාතර දී පැවැත්වීමට මෙම අවස්ථාවට එක් වූ සාගල රත්නායක හිටපු අමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබෙනවා.
මාතරින් පසු ගම්පහත් ඉන් අනතුරුව කළුතරදීත් එම සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කිරීමට ඊයේ තීරණය කර තිබෙනවා.
ඊට අමතරව විදුලි ගාස්තුව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් විශේෂ මාධ්‍ය හමුවක් හෙට(01) දිනයේ පැවැත්වීමට ද මෙහිදී තීරණය වුණා.
ජී. එල්. පීරිස් හිටපු අමාත්‍යවරයා සමග පැවැති මෙම සාකච්ඡාවට නිමල් සිරිපාල ද සිල්වා, පාඨලී චම්පික රණවක, තලතා අතකෝරාල, සාගල රත්නායක, මනෝ ගනේශන්, රෝහිත අබේගුණවර්ධන, ප්‍රේමනාත් සී දොළවත්ත, සුගීශ්වර බණ්ඩාර,මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, නිමල් ලාංසා, සුදත් මංජුල, ගාමිණී වලේබඩ, රංජන් සෙනවිරත්න, සෙනාල් වෙල්ගම ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ රැසකම නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තාවනවා.







