මැදපෙරදිග යුද තත්ත්වය හා ඉන්ධන මිල වැඩිවීම මත යළි විදුලි ගාස්තු සංශෝධනයක් යෝජනා කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවස්ථාව පවතින බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
හෙට සිට සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම ඊයේ (30) ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන්නා.
ඒ, අනුව සියයට 4.3 සිට සියයට 25.3 දක්වා පරාසය තුළ ඒ ඒ කාණ්ඩ සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි ගාස්තු ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4 .50 ක්ව පැවති ඒකක ගාස්තුව සියයට 4.3කින් වැඩි කර තිබෙන අතර, ඒ අනුව එහි නව ගාස්තුව රුපියල් 5 ක්. ඒ අනුව එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද ඇතුළුව උපරිම විදුලි ගාස්තුව වන්නේ රුපියල් 230ක්.
ඒකක 31 සිට 60 දක්වා රුපියල් 8 ක්ව පැවති ඒකකයක ගාස්තුව සියයට 6.9කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව එහි ඒකකයක නව ගාස්තුව රුපියල් 9ක්.
එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද ඇතුළුව උපරිම විදුලි ගාස්තුව වන්නේ රුපියල් 630ක් වනවා.
ඒකක 61 සිට 90 දක්වා රුපියල් 18යි ශත 50ක්ව පැවති ඒකකයක ගාස්තුව ද සියයට 6.9කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව ඒකකයක නව ගාස්තුව රුපියල් 20ක් වනවා.
එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද ඇතුළුව උපරිම විදුලි ගාස්තුව වන්නේ රුපියල් 1840ක්.
ඒකක 91 සිට 120 දක්වා රුපියල් 24ක්ව පැවති ඒකකයක ගාස්තුව සියයට 7.2කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව ඒකකයක නව ගාස්තුව රුපියල් 28ක් වනවා.
එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද ඇතුළුව උපරිම විදුලි ගාස්තුව වන්නේ රුපියල් 3,280ක්.
ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ රුපියල් 41ක්ව පැවති ඒකකයක ගාස්තුව ද සියයට 7.2කින් ඉහළ යන අතර, ඒ අනුව එහි ඒකකයක නව ගාස්තුව රුපියල් 44ක් වනවා.
එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද ඇතුළුව උපරිම විදුලි ගාස්තුව වන්නේ රුපියල් 6,420ක්.
ඒකක 180 ට වැඩි කාණ්ඩයේ රුපියල් 61ක්ව පැවති ඒකකයක ගාස්තුව සියයට 25.3 කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව එහි ඒකකයක නව ගාස්තුව රුපියල් 85ක් වනවා.
කෙසේ වෙතත්, මෙම ගාස්තු සංශෝධනය යටතේ මාසික විදුලි පරිභෝජනය ඒකක 180ට වඩා අඩු ආගමික හා පුණ්‍ය ස්ථාන සඳහා විදුලි ගාස්තුව ඉහළ නොදැමීමට තීරණය කර තිබෙනවා.
මාසික විදුලි පරිභෝජනය ඒකක 180ට වඩා වැඩි ආගමික හා පුණ්‍ය ස්ථාන සඳහා සියයට 9.6කින් ගාස්තු වැඩි කෙරෙනු ඇති.
එමෙන්ම, කර්මාන්ත අංශය සඳහා සියයට 8.7ක් ද, හෝටල් අංශය සඳහා සියයට 9.9ක්ද, රාජ්‍ය ආයතන සඳහා සියයට 14.4ක්ද වශයෙන් ගාස්තු ඉහළ නංවා තිබෙනවා.
පොදු කාර්ය පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය සියයට 8ක්.







