වියළි කාලගුණය නිසා ඉදිරි සති කිහිපයේදී ජල සැපයුම දිනකට පැය කිහිපයකට සීමා කිරීමට සිදු විය හැකියි – ජල සම්පාදන මණ්ඩලය

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ජල ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, ඇතැම් ප්‍රදේශවලට ජලය සම්පාදනය කිරීමේදී ගැටලු මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසනවා.

ඉදිරි සති දෙක තුනක කාලය තුළ පවතින කාලගුණික තත්ත්වය සලකා බලා, දැනට පැය 24 පුරා ජලය සපයන ඇතැම් ප්‍රදේශවලට දිනකට පැය කිහිපයකට පමණක් ජල සැපයුම සීමා කිරීමට සිදු වන බවයි අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.

මේ වන විට මණ්ඩලය මඟින් එවැනි ජල කප්පාදුවක් සිදු නොකළ ද, පවතින තත්ත්වය මත ඉදිරියේදී දිනය පුරා අඛණ්ඩව ජල සැපයුම ලබාදීම අසීරු විය හැකි බවත්, එබැවින් පවතින ජල ධාරිතාව අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.