ලබන මස තෙල් නැව් 10ක් මෙර­ටට

ලබන මාසයේ දී ඉන්ධන නෞකා 10ක් මෙර­ටට පැමි­ණී­මට නිය­මිත අතර ඉන්දීය තෙල් සමා­ග­මෙන් එවනු ලැබූ ඉන්ධන නෞකා­වක් ඊයේ (29) මෙරට පැමිණි බව ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාව පව­සයි.

එහි සභා­පති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජ­ක­රුණා මහතා ප්‍රකාශ කළේ එහි ඩීසල් මෙට්‍රික් ටොන් 18000ක් හා 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18000ක් අඩංගු බවයි.

රට තුළ ඉන්ධන සැප­යුම සම්පූ­ර්ණ­යෙන්ම සහ­තික කර ඇති බවත්, ඒ අනුව ඉදි­රියේ දී කිසිදු ඉන්ධන හිඟ­යක් ඇති නොවන බවත් හෙතෙම රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ 28දා පැවැති විශේෂ මාධ්‍ය හමු­වට එක්වෙ­මින් කීවේය.

විදුලි උත්පා­ද­නය සඳහා අත්‍ය­වශ්‍ය වන දැවි තෙල් සැප­යුම දැන­ට­මත් ස්ථාවර කර ඇති බැවින්, ඉදි­රියේ දී විදුලි කප්පා­දු­වක් සිදු කිරීමේ අව­ශ්‍ය­තා­වක් මතු නොවන බව සභා­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

විශේ­ෂ­යෙන්ම පිරි­ප­හ­දු­වෙන් ඩීසල් සහ දැවි තෙල් නිෂ්පා­ද­නය කෙරෙන අතර, දැවි තෙල් සඳහා වූ ලංසු කැඳ­වීම් හරහා අවශ්‍ය සැප­යුම තහ­වුරු කර තිබේ.

ඒ අනුව අප්‍රේල් 12 සහ 13 දින­වල දී විදුලි උත්පා­ද­න­යට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකා­වක් මෙර­ටට පැමි­ණී­මට නිය­මි­තය.

සභා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පෙන්වා දුන්නේ පව­තින සංචිත අනුව ඩීසල් සැප­යුම ලබන මාසයේ මැද දක්වාත්, 92 සහ 95 පෙට්‍රල් සැප­යුම ජුනි මස ආර­ම්භය දක්වාත් කිසිදු ගැට­ලු­ව­කින් තොරව පව­ත්වා­ගෙන යා හැකි බවයි.

ඉදිරි දින­වල දී මෙර­ටට පැමි­ණී­මට නිය­මිත සහ දැන­ට­මත් පැමිණ ඇති ඉන්ධන නෞකා පිළි­බඳ විස්ත­රා­ත්මක වාර්තා­වක්ද සභා­ප­ති­ව­රයා ඉදි­රි­පත් කළේය.

පසු­ගිය 27 වැනිදා පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 30,000ක් සහ 95 මෙට්‍රික් ටොන් 5,000ක් රැගත් නෞකා­වක් පැමිණ ඇත. මාර්තු 28 සහ 29 දින­වල පැමි­ණී­මට තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,000ක නෞකාව කලින්ම පැමිණ දැන­ට­මත් ගොඩබා අව­සන් කර ඇත. මීට අම­ත­රව IOC නෞකා­වක් හරහා ඩීසල් මෙට්‍රික් ටොන්18,000ක් සහ 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් ලැබී­මට නිය­මි­තය.

අප්‍රේල් 2 සහ 4 අතර ඩීසල් මෙට්‍රික් ටොන් 32,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 8,000ක් ලැබී­මට නිය­මි­තය. අප්‍රේල් 6 සිට 8 දක්වා කාලයේ දී ඩීසල් මෙට්‍රික් ටොන් 69,500ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 5, 000ක් මෙර­ටට ළඟා වේ.

අප්‍රේල් 10 සහ 11 දින­වල ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක්ද, අප්‍රේල් 16 සිට 22 දක්වා කාලය තුළ පෙට්‍රල් සහ ඩීසල් රැගත් තවත් නෞකා කිහි­ප­යක්ද පැමි­ණී­මට නිය­මි­තය.

මෙහි දී සිනො­පෙක් සමා­ගම හර­හාද ඩීසල් සහ පෙට්‍රල් තොග ලැබෙනු ඇත. අප්‍රේල් මස අව­සාන සතියේ දී (24 – 30) ඩීසල් මෙට්‍රික් ටොන් 37,000ක් සහ පෙට්‍රල් 92 හා 95 තොග රැගත් නෞකා පැමි­ණී­මට නිය­මි­තව තිබේ.

විශේ­ෂ­යෙන්ම මෙම ඉන්ධන නෞකා කිසි­වක් යුද ගැටුම් පව­තින කලාප හරහා ගමන් නොක­රන බැවින්, සැප­යුම් දාම­යට කිසිදු බාධා­වක් එල්ල නොවන බවට ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ සභා­ප­ති­ව­රයා සහ­තික විය. ඒ අනුව අප්‍රේල් මාසය සඳහා අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන තොග කිසිදු බාධා­ව­කින් තොරව මෙර­ටට ලැබෙනු ඇත.

රක්ෂණ ශ්‍රියන්ත