ඕමානයේදී අත්අඩංගුවට ගත් ‘මිදිගම චූටි’ ශ්‍රී ලංකාවට රැගෙන එයි

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් ‘මිදිගම චූටි’ අද (30) අලුයම විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දිවයිනට රැගෙන එනු ලැබීය.

ඕමානයේ සුපිරි හෝටලයක සැඟවී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් 38 හැවිරිදි මෙම සැකකරු, අනතුරුව මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් වෙත නිල වශයෙන් භාරදීමට පියවර ගෙන තිබුණි.

මිනීමැරුම්, මංකොල්ලකෑම්, නීති විරෝධී ගිනිඅවි ළඟ තබා ගැනීම සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතළ චෝදනා රැසක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව මෙරට අධිකරණ කිහිපයකම නඩු ක්‍රියාත්මක වේ.

මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබූ අතර, මෙලෙස මෙරටට රැගෙන ආ සැකකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් ඉදිරියේදී දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.