දිවයිනේ ප්‍රධාන නගර 10 ක් ඒකාබද්ධ සැලසුමක් යටතේ සංවර්ධනය කිරීමට රජයෙන් පියවර

2026 වසර සඳහා වන රාජ්‍ය අයවැය යෝජනාවලියට අනුව, දත්ත මත පදනම් වූ විධිමත් ප්‍රවේශයක් ඔස්සේ දිවයිනේ ප්‍රධාන නගර 10ක් සංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩසටහනක් රජය විසින් ආරම්භ කර ඇත. මෙම “නගර 10 සංවර්ධන වැඩසටහන” (10 Cities Development Program) ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ඊයේ දින (2026.03.27) සෙත්සිරිපාය පිහිටි ශ්‍රවණාගාරයේදී පවත්වා තිබේ. පසුගිය කාලසීමාව තුළ ප්‍රමාණවත් සැලසුම්කරණයක් හෝ ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිව ක්‍රියාත්මක වූ නාගරික සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් පැනනැගුණු ගැටලු නිරාකරණය කිරීම මෙම නව ප්‍රවේශයේ මූලික අරමුණයි.
මෙම ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාත හැර සෙසු පළාත් 8ම ආවරණය වන පරිදි, ප්‍රාදේශීය වැදගත්කම සහ සංවර්ධන විභවතාවයන් සැලකිල්ලට ගනිමින් නගර 10ක් තෝරාගෙන ඇත. ඒ අනුව උතුරු පළාතෙන් යාපනය සහ වව්නියාවද, මධ්‍යම පළාතෙන් මාතලේ සහ හැටන්ද, දකුණු පළාතෙන් මාතරද, නැගෙනහිරින් මඩකලපුවද, වයඹින් හලාවතද, උතුරු මැදින් තඹුත්තේගමද, සබරගමුවෙන් ඇහැලියගොඩ සහ ඌව පළාතෙන් බදුල්ල නගරයද මෙම සංවර්ධන සැලැස්මට ඇතුළත් වේ.
මෙම වැඩසටහන හරහා ආයෝජන සඳහා හිතකර, කාර්යක්ෂම සහ පාරිසරික වශයෙන් තිරසර නාගරික මධ්‍යස්ථාන නිර්මාණය කිරීමට අපේක්ෂිතය. මහජන සේවා සහ යටිතල පහසුකම් සැපයීම විධිමත් කිරීම මෙන්ම ප්‍රාදේශීය ආර්ථික අවස්ථා පුළුල් කිරීම සහ සංචාරක ආකර්ෂණය දිනාගැනීම මෙහි ප්‍රධාන අරමුණු වේ. එමෙන්ම කොළඹින් බැහැර නගර සවිබල ගැන්වීම හරහා ජාතික නාගරික ධූරාවලිය ශක්තිමත් කරමින් සමබර කලාපීය සංවර්ධනයක් ඇති කිරීම රජයේ බලාපොරොත්තුවයි.
මෙම ක්‍රියාවලිය හුදු ඉදිකිරීම් ව්‍යාපෘතියක් පමණක් නොව, තාක්ෂණික, ආර්ථික හා පාරිසරික ශක්‍යතා අධ්‍යයනයන් මත පදනම් වූ විද්‍යාත්මක ප්‍රවේශයකි. සියලුම සංවර්ධන කටයුතු ජාතික ප්‍රතිපත්ති සමඟ සමපාත වන අතර, අනුමැතිය සහ අරමුදල් වෙන්කිරීමේදී රජයේ ප්‍රධාන ආයතන අතර මනා අන්තර් ආයතන සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට කටයුතු යොදා ඇත. මෙම ඒකාබද්ධ නාගරික ආයෝජන රාමුව හරහා මෙරට නාගරික පද්ධතියේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම රජය අපේක්ෂා කරයි.