මෙරට අධිකරණ ඉතිහාසය පරීවර්තනීය වෙනසකට යොමු කරමින් කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ නඩු විභාගයක් පසුගිය මාර්තු 26 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුකර තිබේ.
ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සහ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා සහිත විනිසුරු මඩුල්ල හමුවේය.
2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය, විභාග දිනට පෙර දිනයේදී පිට කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව ප්‍රකාරව රජය වෙත ගෙවීමට නියම කොට තිබූ රුපියල් මිලියන 03ක වන්දි මුදල වගඋත්තරකරු විසින් ගෙවීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහස කිරීමේ වරද පිළිබඳ නඩු කටයුත්තක් එහිදී විභාගයට ගැනීම විශේෂත්වයකි.
එය විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නඩු ගොනුව පරිශීලනය සඳහා සාම්ප්‍රදායික ලිපි ගොනුවක් වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සකස් කරන ලද ඩිජිටල් නඩු ගොනුව පරිගණකය තුළින් විනිසුරු මඩුල්ල පරිශීලනය කරන ලදී.
වගඋත්තරකරුට එරෙහි අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී වගඋත්තරකරු වෙත පහදා දීම ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් මනෝදි හේවාවසම් මහත්මිය සිදු කළාය.
චෝදනා පත්‍රය මත සිය ඩිජිටල් අත්සන තබා විද්‍යුත් පද්ධතිය වෙත මුදාහැරීම මඟින් චෝදනා පත්‍රය වෙත ප්‍රවේශය අදාළ පාර්ශව වෙත ලබාදී ඇත.
චෝදනා පත්‍රයේ වූ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි විභාගය 2026 මැයි මස 14 වැනි දිනට කල් තැබූ අතර එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛන රහිත නඩු විමසීම කෙරෙනුයේ නවමු අත්දැකීමක් ශ්‍රී ලංකා ජනතාවට මුදාහැරීමටය.
මෙම නව ඊ ගොනු කිරීමේ යෙදවුම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ආරම්භ කරන ලද අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීම සඳහා වූ “e-court” ව්‍යාපෘතියේ කඩඉමක් වේ.
එහි සුවිශේෂිත්වය වන්නේ මෙම යෙදවුම සම්පූර්ණයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහාය ඇතිව පමණක් ගොඩනගා තිබීමය.
ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් හදුන්වා දෙන ලද e-filing යෙදෙවුම ඔස්සේ වඩා ඵලදායි හා අඩු වියදම් සහිත නඩු ගොනු කිරීමේ හැකියාව පවතියි.
එමඟින් ලිපි ද්‍රව්‍ය සඳහා වන විශාල විදේශ විනිමය සහ පිරිවැය ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සඳහන් කරයි.
එමෙන්ම මෙම ක්‍රමවේදයේ ඇති පහසුව හේතුවෙන් නිතීඥවරු විශාල වශයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම සඳහා යොමු වීම දක්නට ලැබෙන බව සඳහන්ය.
ශ්‍රී ලංකාව පුරා ඇති සියළු අධිකරණ සඳහා මෙම ක්‍රමවේදය නොබෝ දිනකින් හඳුන්වා දීම අපේක්ෂා කරන බව අමාත්‍යංශ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මෙම ඊ ගොනු කිරීමේ පද්ධතිය 2026 පෙබරවාරි 10 වන දින සිට විවෘත කරන ලද අතර නීතිඥවරුන්ට මෙම යෙදෙවුම මඟින් ඉලෙක්ට්‍රොනිකව නඩු ගොනු කිරීම සඳහා අවකාශය නිර්මාණයවී ඇත.
මෙම ක්‍රියාවලියේ සපලතාව තහවුරු කරමින් මේ වන විට නඩු පැවරීම් රාශියක් ඉලෙක්ට්‍රොනිකව සිදුවී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.







