ඉන්ධන තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

ඉන්ධන තොගයක් නිවසේ ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන සිටි කාන්තාවක් කුඩාඔය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගිපුර ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවකි.

අදාළ කාන්තාවගේ නිවසේ ඉන්ධන තොග රැස්කර සඟවා ඇති බවට ඌව කුඩාඔය පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම ඉන්ධන තොගය සොයා ගෙන ඇත.

එහි තිබී පෙට්‍රල් ලීටර් 95ක් සහ ඩීසල් ලීටර් 78ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

වැඩි මිලට විකිණීමේ අරමුණෙන් යුතුව අදාළ කාන්තාව මෙම ඉන්ධන තොගය රැස්කර සඟවා තබන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි. 

අත්අඩංගුවට ගත් කාන්තාව අද (29) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන පවත්වයි.