මිල අඩු ආනයනික භාණ්ඩ ගැන පැමිණිලි කරන්නැයි හඳුන්නෙත්ති ඉල්ලයි  

අඩු මිලට ආනයනික භාණ්ඩ අලෙවි කරන අයට විරුද්ධව පියවර ගැනීමට අවශ්‍ය නීති ඉදිරියේදී සකස් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නාලන්දා සහ කළුදේවල කර්මාන්තපුරයන්හි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩවල මිලට වඩා විදේශ රටවලින් ආනයනය කරනු ලබන එම භාණ්ඩවල මිල අඩු නම් ඒ පිළිබඳ  පැමිණිලි කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

පනවා ඇති බදුවලටත් වඩා අඩු මිලකට සපත්තු, ටයිල්, ලයිටර්, ගිනිපෙට්ටි ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන රට තුළ අලෙවි කෙරේ.

ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණි භාණ්ඩ විය හැකි බවත් මේ පිළිබඳව සොයා බලා විධිමත්ව පැමිණිලි කිරීම කර්මාන්තකරුවන්ගේ වගකීමක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙය රජයට පමණක් පාලනය කළ නොහැකි ක්‍රියාවලියක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.