පළාත් කිහිපයක උණුසුම අදත් අවධානය යොමු කළ යුතු මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (28) මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුර සහ උතුරුමැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බවය.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අවවාදාත්මක නිවේදනයකින් ජනතාවට දැනුම් දෙන්නේ පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යයට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා අනුව ප්‍රදේශ රැසක උණුසුම් දර්ශකය , එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතී.

ඒ සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර මට්ටමය.

තවද, මෙම උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 සිට 52 දක්වා ඉහළ ගියහොත් “වැඩි අවධානය යොමුකළ යුතු” තත්ත්වයක් ලෙසත්, 52 ඉක්මුවහොත් “අනතුරුදායක” මට්ටමක් ලෙසත් වර්ගීකරණය කරන බවද සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, ඊයේ (27) දිනයේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 37.8ක් ලෙස දැක්වේ.

මේ අතර අනිල් ජාසිංහ මහතා අවධාරණය කළේ, පවතින අධික උණුසුම කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ දිගුකාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට විශේෂයෙන් අහිතකර බවය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ දිගු කාලයක් උෂ්ණත්වයට නිරාවරණය වීම හේතුවෙන් ශරීරයේ ජලය අහිමිවීම, උෂ්ණතා ආබාධ සහ උෂ්ණ ආඝාත වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ජනතාව විශේෂ සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි.

විශේෂයෙන් පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ හිරු එළියට නිරාවරණය වීම හැකි තරම් වැළැක්විය යුතු අතර, බාහිර කටයුතු සිදුකරන විට හිස්වැසුම් සහ අව් කණ්නාඩි භාවිත කිරීමද වැදගත් වේ.

එමෙන්ම ලා පැහැති සහ ලිහිල් ඇඳුම් පැළඳීම, ශරීරයට හිරවන ඇඳුම් වලින් වැළකීම සහ විජලනයෙන් ආරක්ෂා වීම සඳහා නිතර ජලය පානය කිරීමද අත්‍යවශ්‍ය බව වෛද්‍ය උපදෙස් ලෙස සඳහන් කරයි.

තවද, ක්ලාන්තය, අධික දහඩිය දැමීම හෝ අධික මහන්සිය වැනි ලක්ෂණ පවතින අවස්ථාවල වහාම සිසිල් ස්ථානයකට යාමත්, තත්ත්වය දිගටම පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීමත් අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.