වෙනත් පුද්ගලයන් සතු QR කේත භාවිත කරමින් වංචනික ලෙස ඉන්ධන ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 1,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වංචනික ක්‍රියා මැඬපැවැත්වීමට අමාත්‍යාංශය, පොලීසිය සමඟ එක්ව විශේෂ විමර්ශන ආරම්භ කර ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි. ජාතික ඉන්ධන බලපත්‍ර QR කේත වංචා කළ පුද්ගලයන් 150ක් ගැන පොලිස් පරීක්ෂණ පැවැත්වෙන අතර, ඉන් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි. ලැබී ඇති සමස්ත පැමිණිලි අතරින් පැමිණිලි 150කට අධික ප්‍රමාණයක් වැඩිදුර විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග සඳහා මේ වන විටත් පොලීසිය වෙත යොමු කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වර්ණ ශ්‍රී ධනපාල මහතා සඳහන් කළේය.
මෙම සිද්ධීන්ට අදාළව පුද්ගලයන් කිහිප දෙනකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත. සෙසු සැකකරුවන් හඳුනාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල්වල පවතින ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගනිමින් සිටින බව ද ඔහු කීය. මෙම පැමිණිලි අතර ඇතැම් සිදුවීම් අත්වැරදීම් හෝ නොදැනුවත්කම හේතුවෙන් සිදු වූ ඒවා බවද ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.







