අසීමාන්තික දඩ නිසා ගල් අඟුරු සමාගම තමන් බංකොලොත් බව පැවසුවහොත් මෙරටට ගල් අඟුරු නොලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
එසේම මෙරටට ගල් අඟුරු අතිරික්තයක් නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බවද පැවසුවා,
”දැන් ගොඩක් අය කතා කරනවා, ගල් අඟුරු වංචාවක් ගැන. දැන් ගල් අඟුරු වංචාවක් වුණාද නැද්ද කියන එක ගැන අපි පැහැදිලිව කියලා තියෙනවා. ගල් අඟුරු ටෙන්ඩර් එක හරියට කරලා තිබෙනවා. ඒ ටෙන්ඩරයේ පරීක්ෂණ ඒවා කොලිටි ද කියලා පරීක්ෂණාගාරවලින් පරීක්ෂණ කරලා තිබෙනවා. ඒකේ තිබෙන ගල් අඟුරුවලින් හදන්න පුළුවන් බලශක්තිය අඩුයි කියන එක ඔප්පු කරලා තිබෙනවා ඒ පරීක්ෂණවලින්. ඒ වෙනුවෙන් ඒ ආයතන දඩ ගෙවලා තිබෙනවා. ඩොලර් මිලියන් දෙකක වගේ දඩයක් රුපියල් දස ලක්ෂ හයසීයකට වැඩි දඩයක් ගෙවලා තියෙනවා.
හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ දැන් තව පැත්තක් ඇත්තටම තිබෙනවා. දැන් අපි හිතමු මේක බාල ගල් අඟුරු නැත්නම් මේක හොඳ නැති ගල් අඟුරු කියලා අපට කේවල් කිරීමේ ශක්තියක් තිබෙනවද? දැන් අපිට මේ කඩේ පාන් රාත්තල හොඳ නැත්නම් ඔයා තියාගන්න කියලා අපි අනිත් කඩෙන් පාන් රාත්තල ගන්නවා. දැන් අපි හිතමු මේක බාලම බාල ගල් අඟුරු කියලා. මොකක්ද තියෙන විකල්පේ? ගල් අඟුරු ගන්න බෑ මේ කඩේ, මේ කඩේ නැතිවුණා කියලා අර කඩේට ගිහිල්ලා. ඒක මාස ගානකට කළින් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒවා ගෙනල්ලා ගබඩා කරන්න ඕනේ.
එතකොට ඇත්තම ප්‍රශ්නේ මොකක්ද? ඇත්තම ප්‍රශ්නේ තමයි එකක් මේ ගල් අඟුරුවල උත්පාදනය වන බලශක්තිය අඩුයි. ඒක ආණ්ඩුව කරපු වැරැද්දක් නෙමෙයි. ස්වභාවික දේවල් ගෙනත්දී වෙච්ච සමාගමේ වැරැද්දක්. එතකොට දඩ ගෙවලා තිබෙනවා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ මේ අසීමාන්තික දඩ නිසා හදිසියේවත් මේ සමාගම හදිසියෙවත් මේ සමාගම කිව්වොත් මම බංකොලොත් මට කරන්න දෙයක් නැහැ කියලා. අපිට නඩු කියලා එයාගේ පස්සේ දඩ ගහගන්න පුළුවන් වෙයි.
හැබැයි ඊට පස්සේ ගල් අඟුරු කෝ අපිට ගල් අඟුරු නැති වෙනවා. ඉතින් මං මේ කියන්න හදන්නේ මේ ඒ වැරැද්ද සාධාරණීකරණය කරනවා නෙමෙයි. අපිට අතිරික්තයක් නැහැ කිසි දේක. තෙල් ටික ගබඩා කරලා තියාගන්න ගබඩා නෑ. තෙල් ගබඩා නෑ. ගල් අඟුරු ගබඩා කරලා තියාගෙන අතිරික්තයක් අපිට නෑ. ඒ නිසා අපි නිකන් අර එදා වේල ටුවර්ස් දුවපු රටක් ඇත්තට.”







