වියළි කාලගුණික තත්ත්වය මධ්‍යයේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

පවතින වියළි කාලගුණික තත්ත්වය මධ්‍යයේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එහි සභාපති චන්දන බණ්ඩාර මහතා කියා සිටියේ දිවයින පුරා වියළි තත්ත්වයන් හේතුවෙන් ජල පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, මහජනතාව වඩාත් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙසත් ය.

පවතින වියළි කාලගුණය ඉදිරියටත් පැවතුනහොත් ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවන බවට ද ඔහු අනතුරු ඇඟවීය.

විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ ජල පිරිපහදු මධ්‍යස්ථානවලින් හැකියාව ඇත්තේ යම් සීමාසහිත මට්ටමකට ජලය සැපයීමට බව සභාපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ වන විටත් උපරිම ධාරිතාවෙන් ජල නිෂ්පාදනය කරන බවත් බෙදාහැරීම් කරන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා සදහන් කළේය.

මේ අතර සෑම ගඟකටම මෝයකට ඔස්සේ ලවන ජලය මිශ්‍රවීම ඉහළ ගොස් ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.