ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවල ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ප්‍රබල කණ්ඩායම් දෙකක් වාර්තාගත මුදලකට විකුණා දැමීමට එහි හිමිකරුවන් කටයුතු කර තිබේ.
ඒ අනුව පසුගිය වසරේ ශූරයන් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම්වල හිමිකාරිත්වය මෙලෙස විකිණීමට කටයුතු කර ඇත.
ඒ අනුව බැංගලෝර් කණ්ඩායම අමෙරිකානු ඩොලර් බිලියන 1.78ක දැවැන්ත මිලක් ගෙවා ලබා ගැනීමට සමාගම් කිහිපයක් එක්ව කටයුතු කර තිබේ. එම මුදල ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 16,000ක් වන අතර, ශ්‍රී ලංකා රුපියල් බිලියන 559කට ආසන්න අගයක් ගනී. ඒ අනුව මේ කණ්ඩායම මිලදී ගෙන ඇත්තේ ආදිත්‍ය බිර්ලා ව්‍යාපාර සමුහය, ද ටයිම් ඔෆ් ඉන්දියා සමූහය, බෝල්ට් වෙන්චර්ස් සහ බ්ලැක්ස්ටෝන් සමාගම් එකතුවෙනි.
බැංගලෝර් කණ්ඩායමේ නව සභාපතිවරයා ලෙස කටයුතු කරන බිර්ලා සමූහයේ ආදිත්‍ය බිර්ලා 22 හැවිරිදි වියේ පසුවන විට ඉන්දීය රුපියල් ලක්ෂ 30කට 2018 වසරේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමට ක්‍රීඩා කර තිබීම විශේෂත්වයකි.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලදී ගැනීමට අමෙරිකානු ව්‍යාපාරිකයකු වන කල් සෝමනී කටයුතු කර ඇති අතර, ඔහු ඒ වෙනුවෙන් ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.63කි. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 501ක් පමණ වේ. 2008 වසරේ ඉන්දීය ව්‍යාපාරිකයකු වන මනෝජ් මඩලේ 2008 වසරේදී රාජස්ථාන් කණ්ඩායම මිලදී ගැනීමට ඉන්දීය රුපියල් කෝටි 380ක් වැය කර තිබූ අතර, ඉන් වසර 18කට පසු ඔහු එම කණ්ඩායම විකිණීමට කටයුතු කළේ ඉන්දියානු රුපියල් කෝටි 15.286කටය.
මේ කණ්ඩායම විකිණීමෙන් හිටපු ඔස්ට්‍රේලියානු සුපිරි දඟ පන්දු යවන්නා වන ෂේන් වෝන්ගේ පවුලේ සාමාජිකයන්ට ඉන්දීය රුපියල් කෝටි 460කට අධික මුදලක් හිමිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. 2008 අයිපීඑල් තරගාවලියේදී ෂේන් වෝන් රාජස්ථාන් පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර, ඔහු දැවැන්ත වැටුපක් වෙනුවට ඉල්ලා ඇත්තේ තමා අයිපීඑල් පිටියට සමුදෙන තෙක් සෑම වසරකම කණ්ඩායමේ හිමිකාරිත්වයෙන් 0.75%ක කොටසක් ලබාදීමේ ගිවිසුමක් අත්සන් කරමිනි.
වෝන් අයිපීඑල් තරගාවලි 4කට ක්‍රීඩා කළ අතර, ඒ අනුව ඔහුට කණ්ඩායමේ හිමිකාරිත්වයෙන් 3%ක කොටසක් හිමිව තිබේ. ඒ හේතුවෙන් මේ කණ්ඩායම විකිණීමත් සමඟ වෝන්ට කෝටි 460ක මුදල හිමිව ඇත. මේ තරග වාර හතරේ දී වෝන් වැටුප් ලෙස ලබාගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 9.35ක් පමණි.







