පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි සැකකරුවෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 620 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අද (25) සවස ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පැවසුවේ.
මෙම සැකකරු වයස අවුරුදු 31 ක් වන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම, සොරකම, කොල්ලකෑම් හා කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධවලට වරදකරු වී බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා.
මොහු අම්බලන්ගොඩ, ගන්දර, රත්නපුර, හොරණ, පානදුර, මාරවිල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල හෝටල්, අවන්හල් හිමිකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් බිය ගන්වමින් අයථා ලෙස මුදල් ලබාගෙන ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ ආකාරයට පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ලෙස හඟවමින් විවිධ ප්‍රදේශවල හෝටල් හා අවන්හල් හිමියන්ට වට්ස් ඇප් ඔස්සේ ඇමතුම් ලබාදී බියගන්වා එම ව්‍යාපාරිකයන්ගෙන් අයථා ලෙස මුදල් ලබාගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරු මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ ආකාරයට පොලිස් නිලධාරින් ලෙස පෙනි සිටිමින් යම් අයෙකුගෙන් අයථා ලෙස මුදල් ලබා ගැනීම් හෝ වෙනත් තර්ජනය කිරීමකට ලක්ව ඇත්නම් නොපමාව 119 හා 118 හදිසි ඇමතුම් අංක වෙත හෝ ළඟම පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන්නැයි පොලිසිය ඉල්ලා සිටිනවා.







