ඉන්ධන මිල ඉහළ යාමෙන් ගැටලුකාරි තත්ත්වයන් මතු වුවද ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිල මේ මොහොතේ ඉහළ නොදමන බවට කිරිපිටි ආනයනකරුවන් සහ තිරිඟු පිටි සමාගම් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී ඊයේ (23) සහතික විය.
ඒ අනුව
තවත් මාස තුනක කාලයකට ප්‍රමාණවත් ආනයනික කිරි පිටි හා තිරිඟු පිටි තොග පවතින බැවින් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් කිසිදු ආකාරයක මිල වැඩි කිරිමක් සිදු නොකරන බවටද ආනයනකරුවෝ සහ සමාගම් නියෝජිතවරු මෙහි දී ඇමැතිවරයා හමුවේ පැවැසූහ. පවතින යුදමය තත්ත්වය හේතුවෙන් සැපයුම් හා බෙදාහැරීමේ ජාලයන්ට එල්ල වී ඇති බලපෑම් හා අඛණ්ඩ සැපයුමක් පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව අමාත්‍යංශයේදී පැවැත්විණි. ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය තම නිෂ්පාදන පිරිවැයට යම් බලපෑමක් එල්ල කළ ද මෙම අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් රජය සමඟ එක්ව ජනතාවට යම් සහනයක් ලබාදීම අපේක්ෂාව බව ඔවුහු කීහ.
ඉන්ධන කෝටාව නිසා බෙදා හැරීම්වලට බලපෑම් එල්ල වී ඇති බව ආනයනික කිරි පිටි හා තිරිඟු පිටි සමාගම් මෙහිදී අමාත්‍යවරයාට පෙන්වා දුන් අතර ආහාර බෙදා හැරීමේ ක්ෂේත්රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට සහ එම අංශයේ සැලසුම්කරණය විධිමත් කිරීම අරමුණු කර ගනිමින් හඳුන්වා දුන් විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනට ලියාපදිංචි වන ලෙස අමාත්‍යවරයා සමාගම් වෙත උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා, අතිරේක ලේකම් ගිල්මා දහනායක, වෙළෙඳ හා පර්යේෂණ අංශයේ අධ්යක්ෂ කුමුදු මීගහගේ මෙන්ම පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහත්වරු ඇතුළු නිලධාරි පිරිසක් සහභාගි වූහ.
රන්මලී සෝමසිරි







