450ක් බරැති පාන් ගෙඩියක මිල ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල අද (24) සිට රුපියල් 10කින් ඉහළ දමා තිබේ. ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් මෙතෙක් අලෙවි කළ රුපියල් 120ක මුදල සංශෝධනය වී රුපියල් 130ක් දක්වා ඉහළ දමා ඇත. අනෙකුත් කෙටි කෑමවල මිල ගණන් ද, දැනට පවතින මිලට වඩා රුපියල් 10කින් ඉහළ දමා තිබේ.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ රටේ පවතින වතාවරණය හමුවේ ඉන්ධන මිල මෙන්ම තම නිෂ්පාදන සඳහා භාවිත කරන අනෙකුත් අමුද්‍රව්‍යද ඉහළ ගොස් ඇති බවයි. මින් පෙර පාන් ඇතුළු කෙටි කෑම මිල ඉහළ දමනු ලැබුවේ පිටි මිල ඉහළ දැමීමෙන් පසුව නමුත් පවතින තත්ත්වය හමුවේ එලෙස කටයුතු කළ නොහැකි බවද හෙතෙම කීවේය.
ඒ මහතා එසේ පැවසුවේ රද්දොළුගම සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ මූලස්ථානයේ ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
රට පුරා ඇති බේකරිවලින් 30%ක් තම නිෂ්පාදන කටයුතු ඩීසල් මඟින් බලගැන්වෙන උදුන් මඟින් සිදු කෙරෙන බවද ඒ මහතා අනාවරණය කළේය.
කටුනායක ටී.කේ.ජී. කපිල







