රජයේ රෝහල්වල සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ට මාසයකට නිකුත් කරනු ලබන ඖෂධ එකවර මාස දෙකකට ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය අදාල ආයතනවලට උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කරනවා.
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන කළමනාකරණය කරගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ගත් බවත් ඒ අනුව මෙම සතියේ සිට මාස දෙකකට අවශ්‍ය ඖෂධ සායනවලින් රෝගීන්ට ලබා ගැනීමට හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.
ඒ අනුව දැනට ඖෂධ තොග ප්‍රමාණවත්ව තිබෙන රෝහල්වල මෙම සතිය තුළදීම මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ හැකි බවත් ඖෂධ තොග අඩු රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කඩිනමින් ඖෂධ තොග අවශ්‍ය ප්‍රමාණයට බෙදාහැරීමට දැන් සිටම අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.
යම් රෝගියෙකු මාස දෙකකට අවශ්‍ය ඖෂධ එකවර ලබා ගත්තද ඔහුට යම් කිසි හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඕනෑම වෙලාවක රෝහලට පැමිණීමට හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා .
මැදපෙරදිග යුද්ධය නිසා ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය සමග අවශ්‍ය ඖෂධ සැපයීම කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් හංසක විජේමුණි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.







