ප්‍රබල ඇමැතිවරු දෙදෙනෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක්, භික්ෂුන් වහන්සේ කිහිපනමක්, ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යවේදීන් දෙදෙෙනක්, සංගීතඥයෙක් ඇතුළු සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් 17 දෙනකු ලෙස පෙනී සිටිමින් ඩුබායි සිට වට්ස්ඇප් ගිණුම් කිහිපයක් මඟින් මුදල් රැස්කරමින් වංචාවක නිරතව සිටි පුද්ගලයෙක් මෙරටට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන පෙරේදා (21) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දැඩි ලෙස අන්තර්ජාල සූදුවකට ඇබ්බැහි වී සිටින මෙම පුද්ගලයා සූදුවට මුදල් සොයා ගැනීමට වංචාවේ නිරතව සිට ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
වත්මන් ආණ්ඩුව බලයට පත්වන විටත් ඔහු සිට ඇත්තේ ඩුබායිහිය. එරට සමාගමක අලෙවි නියෝජිතයෙක් ලෙස රැකියාවේ නිරතව සිට ඇති ඔහු එම සමාගමට කළ වංචාවක් හේතුවෙන් රැකියාවෙන් ඉවත් කර ඇති බව ද විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
රැකියාව ද අහිමිව ඩුබායිහි රැඳී සිටි ඔහු සූදුවට මුදල් සොයා ගැනීමට පහසු ක්‍රමයක් ලෙස යොදාගෙන ඇත්තේ මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් මුදල් එකතු කිරීමය. ඇමැතිවරුන් වන නලින්ද ජයතිස්ස, සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නමින් ඔහු පෙනී සිට ඇත්තේ ඔවුන්ගේ මුහුණ සහ නම භාවිත කරමින් වට්ස්ඇප් ගිණුම් විවෘත කරගෙනය.
“මේ පුද්ගලයා වට්ස්ඇප් ගෲප් හදනවා. ඇමැතිවරු, මාධ්‍යවේදීන්, භික්ෂුන් වහන්සේ, සංගීතඥයන් ඇතුළු 17 දෙනකුගේ නම්වලින් වට්ස්ඇප් ගෲප් හදලා තියෙනවා. එක පුද්ගලයකුට එක වට්ස්ඇප් ගෲප් එක ගානෙයි හදන්නේ. ඒ වට්ස්ඇප් ගෲප්වලට විශාල පිරිසක් එකතු කර ගන්නවා. ඊට පස්සේ තමයි මුදල් වංචා සිදුවන්නේ. එක් අවස්ථාවකදී ඇමැතිවරයකුගේ නමින් හදපු වට්ස්ඇප් ගෲප් එකෙන් ඔහු පක්ෂ අරමුදලට මුදල් ඉල්ලා තිබෙනවා. නියෝජ්‍ය ඇමැතිවරයාගේ නමින් තියෙන ගෲප් එකට දිට්වා සුළිකුණාටුවෙන් හානි වූවන්ට දෙන්න කියල මුදල් රැස්කරල තියෙනවා. ඔය විදිහට ඔහු සෑම වට්ස් ඇප්ගෲප් එකක් මාර්ගයෙන්ම මේ විදිහට මුදල් රැස්කර තියෙනවා. බැංකු ගිණුම් 03ක් මේ සඳහා භාවිත කර තියෙනවා“ යැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම ජාවාරම ගැන දීර්ඝ ලෙස කළ විමර්ශනයේදී සැකකරු විදේශයක සිට මෙම ජාවාරම මෙහෙයවන බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ දැනුවත් කිරීමට පියවර ගත් බවත් ඒ අනුව පසුගිය 20 දා ඔහු මෙරටට පැමිණෙන විට අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ







