රටේ බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීමේ දිගුකාලීන උපායමාර්ගයක් ලෙස ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගබඩා පුළුල්ව සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දැනටමත් එහි ටැංකි කිහිපයක් ප්‍රතිසංස්කරණය කර තිබෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 32ක ප්‍රතිපාදන වෙන් ව ඇත.
ත්‍රිකුණාමලය උපායමාර්ගික බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අත්සන් කරන ලද ප්‍රධාන ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට සමගාමීව මෙම සංවර්ධනය සිදු වේ.
අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවට දැරිය හැකි බලශක්ති ප්‍රවේශයක් සහතික කිරීම අරමුණු කරගත් බලශක්ති යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සහයෝගීතාව හා අනාගත බලශක්ති ව්‍යාපෘති හරහා අපනයන ආදායමක් ජනනය කර ගැනීම අරමුණු කෙරේ.
මෙම හවුල්කාරීත්වයේ කේන්ද්‍රීය අංගයක් වන්නේ දෙවැනි ලෝක යුද සමයේදී මුලින් ඉදිකරන ලද ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නවීකරණය කිරීමයි.
ඒවා දැනට ලංකා අයිඕසී කළමනාකාරීත්වය යටතේ අර්ධ වශයෙන් පමණක් ක්‍රියාත්මක වේ.
දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා නළ මාර්ගයක් ස්ථාපිත කිරීමේ සැලසුම් ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර, එමඟින් කලාපීය බලශක්ති සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට සහ සැපයුම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීමට අපේක්ෂා කරන බව පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද අවධාරණය කළේය.
සමන්මලී ප්‍රියශාන්ති







