ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා (Masato Kanda) මහතා අද (23) සිට 25 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇත.
සභාපතිවරයා අද අලුයම 00:15ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත අතර, එහිදී කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්වරුන් විසින් ඒ මහතාව පිළිගනු ලැබීමට නියමිතව තිබිණි.
කොළඹ වරාය පාලක මැදිරිය නිරීක්ෂණය කරන සභාපතිවරයා, අනතුරුව කොළඹ ITC රත්නදීප හෝටලයේදී පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ විශේෂ දිවා භෝජන සාකච්ඡාවකට සහභාගි වනු ඇත. එදිනම පස්වරුවේ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික මෙහෙයුම් කාර්යාලයේ (SLRM) පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයකට සහ කාර්ය මණ්ඩල හමුවකට ද ඔහු එක්වීමට නියමිතය.
සංචාරයේ දෙවැනි දිනය වන හෙට (24) දින, මෑතක දී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානි නිරීක්ෂණය කිරීම සඳහා සභාපතිවරයා ප්රමුඛ දූත පිරිස කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇත. හෙලිකොප්ටර් යානා මඟින් අරණායක රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලය වෙත ගොස්, එතැන් සිට නාරංගල සහ අඹලන්කන්ද යන ප්‍රදේශවල සිදු වූ විනාශය පිළිබඳ ඒ මහතා පෞද්ගලිකවම සොයා බලනු ඇත.
එදිනම පස්වරු 3:00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ සුවිශේෂී අවස්ථාවකි.
සියලු නිල කටයුතු නිම කිරීමෙන් පසු සභාපති මසාටෝ කන්ඩා මහතා අනිද්දා (25) අලුයම 01:00ට දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
ජයසිරි මුණසිංහ







