කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අද (23) දිනයේ සිට නැවතත් අය කිරීමට පියවර ගෙන තිබේ.
කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා පැවසුවේ ඒ අනුව අද උදෑසන 6.00 සිට සුපුරුදු පරිදි රථවාහන ගාල් කලමනාකරණය හා ගාස්තු අය කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේදී කොළඹ මහා නගර සභාව තීරණය කළ බවය.
පසුගියදා ඉන්ධන පිරවුම්හල් අසල සහ ඒ අවට ඇති වූ වාහන පෝලිම් හේතුවෙන් නැවතුම් ස්ථානවලට සිදුවූ බලපෑම් හේතුවෙන් සහ ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාවට සහනයක් ලෙස රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම පසුගිය 18 වන දින සිට නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබුණි.
නමුත් ඉන්ධන බෙදා හැරීම සඳහා නිකුත් කරන ලද QR ක්රමවේදය සහ ඔත්තේ / ඉරට්ටේ ක්රමය තුළින් ඉන්ධන පෝලිම් අඩුවීම හේතුවෙන් නැවත ගාස්තු අය කිරීම පිළිබඳව කොළඹ නගර සභාවේ අවධානය යොමුවිය.
ඒ අනුව අද දිනයේ සිට නැවත රථවාහන ගාල් කලමනාකරණය හා ගාස්තු අය කිරීම සුපුරුදු පරිදි සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේය.







