පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ වැටලීම් මාලාවක් 

එළ‌ඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සමය තුළ විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩපිළිවෙලක් මාර්තු 20 වෙනිදා සිට ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වෙළෙඳපොළ තුළ  පාරිභෝගිකයින් අසාධාරණයට ලක්වීම වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාවලිය සිදු කෙරේ.

වත්මන් මැදපෙරදිග අර්බුදය ඇතුළු ගෝලීය දේශපාලනික හා ආර්ථික අස්ථාවරත්වය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින්, ඇතැම් වෙළෙඳුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස් සහ ඉන්ධන සැඟවීම මගින්  කෘත්‍රිම හිඟයක් වෙළෙඳපොළ තුළ මවාපෑමටත්, භාණ්ඩ මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමටත් පෙළඹීමේ තත්ත්වයන් වැළැක්වීම ‍මෙහි අරමුණ වේ.

එමෙන්ම උත්සව සමයේ ඇති විය හැකි වෙළෙඳපොළ අක්‍රමිකතාවයන් වැළැක්වීම සඳහා ද අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී ද අඛණ්ඩව රාජකාරියේ යෙදවීමට කටයුතු කිරීමට නියමිතය.

මෙම විශේෂ වැඩපිළිවෙල යටතේ ගබඩා සහ තොග අලෙවිසැල් නිරන්තර පරීක්ෂාවට ලක්කිරීම හා භාණ්ඩ සඟවා තබන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම කෙරෙහි දැඩි අවධානය යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඊට අමතරව උපරිම සිල්ලර මිල ඉක්මවා හෝ භාණ්ඩවල සටහන් කර ඇති මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිය, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවිය සහ බිල්පත් නිකුත් නොකිරීම ඇතුළු වෙළඳ විෂමාචාර සමබන්ධව වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම  ගෑස් බෙදාහරින්නන් සහ ඉන්ධන පිරවුම්හල් නිරන්තර අධීක්ෂණයට ලක් කරමින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ සැපයුමක් ලබාදීමට ද මැදිහත් වන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.
 
ඒ අනුව, එළඹෙන උත්සව සමය තුළ අදාළ නීති උල්ලංඝනය කරන වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනත යටතේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස සියලුම විමර්ශන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත. 

පාරිභෝගිකයින්ට සිදුවන යම් අසාධාරණයක් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතාවයක් පිළිබඳව කාර්යාලීය වේලාවන් තුළ 1977 යන කෙටි ඇමතුම් අංකය ඔස්සේ මෙම  අධිකාරිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.