ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි අරඹයි

අඛණ්ඩ සැපයුමක් වෙනුවෙන් ත්‍රිපෝෂ සමාගම නිෂ්පාදනය මේ වන විට යළි ආරම්භ කර තිබෙනවා.

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධානම අමුදව්‍ය වන ප්‍රමිතිගත බඩඉරිඟු‍ නොමැතිවීම මත ත්‍රිපෝෂ නිෂ්පාදනය මාස ගණනාවක් අඩාළ වී තිබුණා.

ඒ හේතුවෙන් ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීමට නොහැකි වූ අතර ඉලක්කගත ප්‍රතිලාභි කණ්ඩායම් වෙත ත්‍රිපෝෂ ලබාදීම අක්‍රමවත්වයි පැවතුණේ.

කෙසේ වෙතත් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහගේ මැදිහත්වීම මත අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ප්‍රමිතිගත බඩඉරිඟු‍ ආනයනය කිරීම සඳහා පසුගියදා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සමඟ ත්‍රිපෝෂ සමාගම එකඟතා ගිවිසුමකට එළඹි අතර ඉන් පසු ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු‍ සැපයුම යථාවත් වී ඇති බවයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වන විට යළි ආරම්භ කර ඇති අතර පැය 24 පුරාම නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන බව එහි සභාපති අමල් අත්තනායක පැවසුවා.

ඒ අනුව මෙම මාසය අවසන් වන විට ත්‍රිපෝෂ නොලැබුණු සැමට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල හරහා ත්‍රිපෝෂ ලබා ගැනීමට හැකි වන පරිදි බෙදා හැරීම් දිවයින පුරා සිදුකරන බවත්, ඉදිරි මාස කිහිපයට අවශ්‍ය සැපයුම අඛණ්ඩව සිදුකළ හැකි බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.