නීතිවිරෝධීව ඉන්ධන තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව ඉන්ධන සන්තකයේ තබාගැනීම, විකිණීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධ සිද්ධීන් තුනක අදාළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) සවස, මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ හංවැල්ල, කළුතර උතුර සහ කොටහේන යන පොලිස් වසම්වලදීය. 

හංවැල්ල පොලිස් වසමේ ඇමුල්ගම ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 645ක් සන්තකයේ තබාගෙන සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර කළුතර උතුර පොලිස් වසමේ බෝසිරිපුර ප්‍රදේශයේදී සිදුකළ තවත් වැටලීමකදී, බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 35යි මිලිලීටර් 500ක් සන්තකයේ තබාගෙන විකිණීමේ චෝදනා මත 32 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී, ලොරි රථයකින් බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2000ක් (බැරල් 10ක්) ප්‍රවාහනය කරමින් සිටි 25 හැවිරිදි සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සියලු සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.