බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබා ගත් පුද්ගලයකුට මාස දෙකක අනිවාර්යය සිර දඬුවමක්

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 65 ක් සන්තකයේ තබා ගනිමින්, ලොරි රථයකින් එම ඉන්ධන ප්‍රවාහනය කළ පුද්ගලයකුට රුපියල් 2500 ක දඩයක් සහ මාස දෙකක අනිවාර්යය සිර දඬුවමක් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා.

මෙලෙස අනිවාර්ය සිර දඬුවම් නියම කර ඇත්තේ ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවකුට බවයි සඳහන් වන්නේ.

වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන තොගයක් ලබාගත් බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව, අදාළ ඉන්ධන පිරවුම්හල අසලදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලපත්‍ර රහිතව සහ නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග සන්තකයේ තබා ගැනීම <strong>’බරපතළ වරදක්'</strong> ලෙස සලකන බව තීන්දුව ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.