කොළඹ වරාය නගරයේ ආයෝජනය සඳහා මේ වන විට ව්‍යාපාර 150කට වැඩි ප්‍රමාණයක් අලුතින් ලියාපදිංචි වී තිබෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (19) ප්‍රකාශ කළේය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග අනුමත කිරීම සහ ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සුනිල් හඳුන්නෙත්ති මහතා,
“එදා යම් යම් කාරණා සමඟ අපි කොළඹ වරාය නගර ව්‍යාපෘතියට විරුද්ධ වුණා. නමුත් එදා සිට කැඳවා ගන්න පුළුවන් වුණේ ආයෝජන තුනයි. එයිනුත් එකක් අතරමඟ නතර වුණා. නමුත් අපේ ආණ්ඩුව නතර කළ ආයෝජනයේ ඉදිකිරීම් කටයුතු පටන්ගෙන තිබෙනවා. මේ වන විට අලුතින් ව්‍යාපාර 150කට වඩා අලුතින් ලියාපදිංචි කර තිබෙනවා. මේ සඳහා වර්ග මීටර් මිලියන 6.3ක විදෙස් ආයෝජන ගේන්න අපි අපේක්ෂා කරනවා. මේ සඳහා විශ්වාසයක්, ක්‍රමවත් බවක් අවශ්‍ය වෙනවා.
කොළඹ වරාය නගරය ව්‍යාපෘතියට ගේන ආයෝජන සම්බන්ධයෙන් විශ්වාසයක් අවශ්‍ය වෙනවා. මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් දිනයේ සිට ආයෝජකයන් කැඳවා ගන්න නොහැකි වුණා. පාලනයේ දූෂණ නිසා ආයෝජන ගෙන්වා ගන්න නොහැකි වුණා. හවුල් පාලනයේ සහ පවුල් පාලනයේ දූෂණ නිසා එවැන්නක් කරන්න නොහැකි වුණා.
ආණ්ඩුවේ දේශපාලන ස්ථාවර බව නිසා ආයෝජන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් මේ වන විට පැමිණ තිබෙනවා. එදා කොමිස් මුදල තමයි මුලින්ම ඉල්ලුවේ. නමුත් අද එහෙම වෙන්නේ නැහැ. අද බැසිල් රාජපක්ෂලා නැහැ. කිසිදු අක්‍රමිකතාවක් සිදු වන්නේ නැහැ. අද ලෝකයේ ව්‍යවසායකයන්ට යන්න ඕනෑ තරම් රටවල් තිබෙනවා. කලාපීය සුහදත්වය තිබෙනවා. මේ ආණ්ඩුවේ ශක්තිමත් බව ගැන ආයෝජකයන් කල්පනා කරනවා.
අද විශේෂිත බවක්, පෞද්ගලික බවක් නොමැතිව සාධාරණව කටයුතු සිදු වෙනවා. 2026 ජනවාරි මාසය වන විට විවිධ ආයෝජන විශාල ප්‍රමාණයක් පැමිණ තිබෙනවා. මෙය පරිවර්තනයක ආරම්භයක් වෙනවා. ආයෝජකයන් සමඟ ක්‍රියාකාරීව එකඟතාවන්ට පැමිණෙනවා. උසස් ආර්ථික කළමනාකරණ කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව සෘජුව විදෙස් ආයෝජන සඳහා කැඳවන්න අපිට හැකියාව ලැබී තිබෙනවා. යම් යම් ප්‍රමාද තිබෙනවා. එය අවම කරන්න අපි පියවර ගනිමින් ඉන්නවා. සති 6ක් ඇතුළත අවශ්‍ය අනුමැතිය ලබාදෙන්න අපි තීරණය කර තිබෙනවා. ආයෝජන සඳහා එන අයට ආයතන 26කින් පමණ අනුමැතිය ගන්න සිදු වෙනවා. ඒ නිසා මෙය එකම වහලක් යටින් අවසර ගන්න අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
රටේ දේශපාලන ස්ථාවර බව නිසා ආයෝජකයන් කැමැත්තෙන් එනවා. මේ යුද තත්ත්වය නිසා එක් ධීවරයෙක් හෝ මුහුදු ගොස් එන්න නොහැකිවූ අයෙක් ඉන්නවා ද? එක තැනක හෝ බෙදාහැරීමේ ජාලයේ බිඳවැටීමක් සිදුව නැහැ. කර්මාන්තශාලා 1300ට ඉන්ධන පහසුකම් ලබාදෙන්න අපි පියවර ගෙන තිබෙනවා. මේ ස්ථාවර බව ඉතා වැදගත් වෙනවා”
ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර සහ සන්ධ්‍යා කරුණාරත්න







