ඉරානයට එරෙහිව අඛණ්ඩව යුද වදින බවට ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

ඉරානයට එරෙහිව අඛණ්ඩව යුද වදින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, අමෙරිකාව යුද්ධයකට පෙළඔවූයේ ඊශ්‍රායලය විසින් නොවන බවයි.

එමෙන්ම, අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ඉරානයේ බලශක්ති මූලාශ්‍රයන්ට පහරදීම නවතා දැමූ බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවෙමින් සිටින අතරතුර ද ජෙරුසලමට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊශ්‍රායලය විසින් ඉරානයේ පිහිටි ලොව විශාලතම ස්වාභාවික වායු නිධිය වන සවුත් පාර්ස් පිරිපහදු මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ගල්ෆ් කලාපයේ බලශක්ති මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කරමින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම ප්‍රහාරය එල්ලවී තිබුණේ අසලු‍යේ ප්‍රදේශයේ පිහිටි ගෑස් පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයකටයි.

එම ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් කටාර් රාජ්‍යය එරට ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක සහ යුධ කටයුතු පිළිබඳ උපදේශකවරයාට පැය 24ක් තුළ එරටින් පිටව යන ලෙසයි නියෝග කර ඇත්තේ.

ඉරාන රජය විසින් මෙම ප්‍රහාරය පිටුපස අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිටින බවට සෘජුවම චෝදනා කර ඇති අතර, මෙම ප්‍රහාරය කලාපීය බලශක්ති යුද්ධයක පෙර නිමිත්තක් ලෙසයි ආර්ථික විචාරකයින් පෙන්වා දෙන්නේ.

ඉරානයේ දේශීය ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 70 කට වැඩි ප්‍රතිශතයක් සපයනු ලබන්නේ මෙම නිධිය හරහායි.

මෙම වසරේ පෙබරවාරි අගභාගයේ ආරම්භ වූ මෙම යුධමය තත්ත්වය තුළ ඊශ්‍රායලය විසින් ඉරානයේ ගෑස් යටිතල පහසුකම් ඉලක්ක කළ පළමු අවස්ථාව ද මෙය වනවා.

මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේ තමන් ඊට පළිගැනීමක් ලෙස ඉතා දරුණු ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.

ඒ අනුව ඉරානය කටාර් රාජ්‍යයේ පිහිටි රාස් ලැෆාන් පිරිපහදුව, මසායිද් හෝල්ඩිංග් ආයතනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් – හොසන් ගෑස් පිරිපහදුව, සෞදි අරාබියේ සැම්රෙෆ් පිරිපහදුව සහ අල් ජුබයිල් කාර්මික නගරය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර කුවේට් හි මිනා අබ්දුල්ලා තෙල් පිරිපහදුව වෙතද ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමත් සමග ගින්නක් ද හටගෙන තිබුණා.

ඉරානය විසින් කලාපයේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද ඉහළ ගොස් තිබුණා.

මේ අතර ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ බලශක්ති මර්මස්ථානයන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ඇත්තේ මැදපෙරදිග කලාපයේ රටවල විදේශ අමාත්‍යවරුන් රියාද් නුවරදී සාකච්ඡාවක නිරතව සිටින අතරතුර වීම ද විශේෂත්වයක්.

එමෙන්ම, කටාර් රාජ්‍යයේ රාස් ලැෆාන් කාර්මික නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරය සඳහා ඉරානය සෘජුවම වගකිව යුතු බවට කටාර් රජය චෝදනා කර තිබෙනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීමේ දී ගාස්තු අයකිරීමේ යෝජනාවත් ඉරාන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මේ අනුව, අදාළ යෝජනාව සම්මත වීමෙන් අනතුරුව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකා ඒ වෙනුවෙන් ඉරානයට ගාස්තු සහ අදාළ බදු ගෙවිය යුතු බවයි සදහන් වනනේ.