මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරට එරෙහිව සිදු කළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් කොමිසම අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු ඉදිරි පියවර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පැමිණිල්ල අගෝස්තු මස 28 වැනිදා යළි කැඳවීමට නියෝග කළ අතර, එදිනට විමර්ශන කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසට කොමිසමට නියම කර තිබෙනවා.

2023 වසරේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මානව සම්පත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පවරා දීම තුළින් රජයට පාඩුවක් සිදු කර, ‘දූෂණය’ නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින්, හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.