විදුලි ගාස්තු ගැන තීරණය මාර්තු 31 ට පෙර

2026 දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනයට අදාල තීරණය ලබන මාර්තු 31 දිනට පෙර ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීම මහජන උපයෝගීතා කොමිසම පසුගිය පෙබරවාරි මස 25 වැනිදා ආරම්භ කළා.

එහි අවසන් සැසිවාරයේ මහජන අදහස් විමසීමේ අවස්ථාව අද පැවැත්වුණු අතර එම තීරණය ලබන 31 ට පෙර ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි සඳහන් වුණේ.

විදුලි අර්බුදයේ බර සහ බාල ගල් අඟු‍රුවලින් සිදුවූ පාඩුව විදුලි පාරිභෝගිකයින් පිට පැටවීම සිදුනොකරන ලෙස මේ අවස්ථාවට සම්බන්ධ වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.

විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධ යෝජනා රැසක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

ඒ අද මහජන උපයෝගීතා කොමිසම විසින් කොළඹ දී පැවැත්වූ බස්නාහිර පළාත් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ හමුවට එක්වෙමින්.

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවක ද මෙම අවස්ථාවට ඒක්ව සිටි අතර ඔහු කියා සිටියේ ලබන අගෝස්තු මාසය වනවිට විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිත බවයි.