කුකුළු මස් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 10000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දීම රාගම පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකි.
රාගම, රාම්පිටිය, කැටිගේවත්ත පාර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා රාගම පොලිස් වසමේ සතිපොළ මධ්‍යයේ කුකුළු මස් අලෙවිසලක් පවත්වාගෙන යනු ලබයි. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සතිපොළෙහි මාංස අලෙවිසලක් පවත්වාගෙන යෑම වෙනුවෙන් ව්‍යාපාරිකයාගෙන් සතියකට රුපියල් 5000 බැගින් ඉල්ලා ඇතැයි පොලීසිය කියයි.
ඊට අදාළ සති දෙකක මුදල් ලබාදීම සඳහා ව්‍යාපාරිකයා පැමිණ රුපියල් 10000 ක මුදල සතිපොළ මධ්‍යයේදී ලබාදීමේදී අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර නිලධාරියා එම අල්ලස් මුදල ලබා ගැනීම සඳහා පැමිණ ඇත්තේ පොලිස් සැරයන්වරයකු සමඟය. රාගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදෙන බවට පොලිස් පොතක සටහන් යොදා පොලිස් යතුරුපැදියකින් ඔවුන් පැමිණ ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි
අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා 2026 ජනවාරි මස 17 වැනි දින බියගම පොලීසියේ සිට රාගම පොලීසියේ රාජකාරියට පැමිණි අයෙක් බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
58 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ







