අල්ලස් කොමිසම තමාට තර්ජනය කර ප්‍රකාශය ලබාගත් බවට කපිල චන්ද්‍රසේනගෙන් දිවුරුම් ප්‍රකාශයක්

Airbus ගනුදෙනුවෙන් ලැබුණු මුදල්වලින් රුපියල් මිලියන 60 ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කළ ප්‍රකාශය, තර්ජනය කර ලබාගත් එකක් බව පවසමින් ඔහුගේ නීතිඥයින් විසින් දිවුරුම් ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

එයාර් බස් ගනුදෙනුව හරහා ලැබුණු අරමුදල්වලින් රුපියල් මිලියන 60 ක මුදලක් අවස්ථා තුනකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ගෙවූ බවට කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළ බව අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා.

මීට අමතරව හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ද රුපියල් මිලියන 20 ක මුදලක් ගෙවූ බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයේදී සඳහන් කර තිබුණේ.

අල්ලස් කොමිසමට තමා ලබා දුන් ප්‍රකාශය ස්වේච්ඡාවෙන් ලබා දුන්නක් නොවන බවත්, ප්‍රශ්න කිරීම් අතරතුර තමා ප්‍රකාශය සටහන් කරන කාමරයෙන් පිටතට රැගෙන ගොස් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් තමාට තර්ජනය කළ බවත් මාර්තු 18 දිනැති මෙම දිවුරුම් ප්‍රකාශය මගින් කපිල චන්ද්‍රසේන චෝදනා කර සිටිනවා.

එහිදී තමන්ව අත්අඩංගුවට ගන්නා බවට අනතුරු ඇඟවූ බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු අයගේ නම් ඇතුළත් කරන ලෙසට තමාට බලපෑම් කළ බවත්, භීතිය සහ තර්ජනය හමුවේ මෙම පුද්ගලයින් පිළිබඳව තමා සඳහන් කළ බවත්, එය තමාගේ ස්වේච්ඡා සාක්ෂියක් නොවන බවයි ඔහු පවසා සිටින්නේ.

එමෙන්ම ප්‍රකාශය සටහන් කරන අවස්ථාවේදී තමාගේ නීතිඥවරයා හමුවීමට අවස්ථාව ලබා නොදුන් බවට ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ දිවුරුම් ප්‍රකාශය පහතින්.

 news images news images news images