ඉන්ධන ලබා ගැනීමට අදාළ QR කේත සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව “Override” විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.
2026 මාර්තු 14 ට පෙර ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවත ලබා ගැනීමේදී, එම ලියාපදිංචිය සිදු කළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැති වීම හෝ වෙනත් අයකු සතු වීම හේතුවෙන් මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා මෙම පහසුකම හඳුන්වා දී තිබෙනවා.
මෙහිදී පරිශීලකයන්ට ඔවුන්ගේ පෙර ලියාපදිංචිය ඉවත් කර, නිවැරදි වාහන අංකය සහ චැසි අංකය (Chassis Details) ලබා දීම මඟින් නව ජංගම දුරකථන අංකයක් යටතේ නැවත ලියාපදිංචි වී QR කේතයක් ලබා ගත හැකි බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.
පරිශීලකයා ‘Override’ විකල්පය තෝරාගත් විට, එම වාහනයට සම්බන්ධ පැරණි ගිණුම දත්ත පද්ධතියෙන් ඉවත් වන අතර, නව තොරතුරු සහිත ගිණුම වහාම ක්‍රියාත්මක වනවා.
මෙම ක්‍රියාවලියේදී පැරණි ලියාපදිංචිය අවලංගු වන බැවින් පෙර පරිශීලකයාට එම වාහනය වෙනුවෙන් ලැබුණු ප්‍රවේශය අහිමි වන අතර, මෙමඟින් නිවැරදි හිමිකරුට තම QR කේතය බාධාවකින් තොරව ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.







