2026 මාර්තු 14ට පෙර ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවත ලබා ගැනීමේදී, එම ලියාපදිංචිය සිදු කළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැති වීම හෝ වෙනත් අයකු සතුවීම හේතුවෙන් මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා “Override” යන නමින් විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (19) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කළා.
එහිදී https://fuelpass.gov.lk/ යන නිල වෙබ් අඩවියට පිවිස, වාහනයේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වාහන අංකය සහ චැසි අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් පමණක් මෙම නව පහසුකම භාවිත කළ හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
වාහනය දැනටමත් වෙනත් අංකයක් යටතේ ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි වී තිබුණ ද <em>(ලියාපදිංචිය 2026 මාර්තු 14 ට පෙර විය යුතුය)</em>, මෙහිදී නිවැරදි තොරතුරු ඇතුළත් කර, පවතින ලියාපදිංචිය අවලංගු කර, තමා සතු නව දුරකථන අංකය යටතේ ලියාපදිංචි විය හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
‘Override’ විකල්පය තෝරාගත් විට එම වාහනයට සම්බන්ධ පැරණි ගිණුම දත්ත පද්ධතියෙන් ඉවත් වන අතර, නව තොරතුරු සහිත ගිණුම වහාම ක්‍රියාත්මක වනවා.
කෙසේ වෙතත්, තමාට නීත්‍යනුකූල අයිතියක් නොමැතිව වෙනත් අයකු ලියාපදිංචි කළ වාහනයක දත්ත ඉවත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.







