
රියැදුරන් දෙදෙනාටම තුවාල
-රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර

අම්බලන්තොට – කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරු සෙවණ මංසන්ධියේදී හිමිනමක් සහ කාන්තාවන් තිදෙනකු මරණයට පත්කරවමින් 37 දෙනකුට තුවාල සිදුකරමින් ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ (18) පෙරවරුවේදී සිදුවූ අනතුරට මුල්වී ඇත්තේ බස් රථ දෙක අධික වේගයෙන් ධාවනය වීම බව විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පැවසීය.
මගී ජීවිත අවදානමේ තබා අපරික්ෂාකාරීව අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් බස් රථ රියැදුරන් දෙදෙනාට එරෙහිව දැඩි පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. කොළඹ සිට කතරගම දක්වා ධාවනය වෙමින් පැවති මොරටුව ඩිපෝවට අයත් බස් රථයක් සහ තිස්සමහාරාමය සිට කරාපිටිය බලා ධාවනය වෙමින් තිබුණු අම්බලන්තොට ඩිපෝවට අයත් බස් රථයත් මෙසේ අනතුරට ලක්ව තිබේ.
ප්‍රධාන මාර්ගය දෙපස වී අස්වනු නෙළා අවසන් වූ කුඹුරු යායකට ගිනි තැබීම හේතුවෙන් අනතුර සිදු වන විට ප්‍රදේශය පුරා අධික දුමක් පැතිර ගොස් තිබීම හේතුවෙන් මාර්ගය අපැහැදිලි වී තිබූ බව මෙම බස් රථ දෙකෙහි ගමන් කරමින් සිටි මගීහු සඳහන් කරති. බස් රථයට බස් රථය නොපෙනෙන තරම් දුමාරය පැවති බවද ඔවුහු පවසති.
“වීරවිල තුරු සෙවණ ප්‍රදේශයේ පුරාම කළු පාට දුමින් වැහිලා තිබුණේ එක පාරටම හෙණ ගහන්න වගේ හඬක් ඇහුණා. බස් රථයේ අසුනේ සිට රියැදුරු විසි වී ගියා. මම හිටිෙය දොර ළඟ අසුනේ. මට එහා පැත්තෙ ඉස්සරහ ආසනේ සිටි හාමුදුරුවෝ නමක් අපවත් වෙලාම මගේ ඇඟ උඩ වැටුණා” යැයි කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබුණු මොරටුව ඩිපෝවට අයත් බස් රථයේ සිටි මගියකු වන සෙල්ලකතරගම පදිංචි දීගොඩගේ චමින්ද පුෂ්පකුමාර මහතා මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් එසේ සඳහන් කළේය.
අනතුරින් අපවත් වූ හිමිනමගේ දේහය දෙබරවැව රෝහලේත් මියගිය කාන්තාවන් තිදෙනකුගේ සිරුරුත් හම්බන්තොට මහ රෝහලේ තැන්පත් කර ඇති බව හම්බන්තොට මහ රෝහලේ වෛද්යාධිකාරි අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.
හම්බන්තොට මහ රෝහල වෙත අනතුරට ලක් වූ පුද්ගලයන් 25 දෙනකු ඇතුළත් කර ඇත. තුවාලකරුවන් තිදෙනෙක් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද මහ රෝහලේ අධ්‍යක්ෂවරිය සඳහන් කළාය. මියගිය කාන්තාවන්ගේ තොරතුරු සවස් වන තුරු අනාවරණය වී නොතිබුණු බවද රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.
බස් අනතුරෙන් අනතුරට ලක් වූ තුවාලකරුවන් විශාල පිරිසක් එකවර හම්බන්තොට මහ රෝහල වෙත රැගෙන ඒමෙන් වෛද්‍ය කණ්ඩායම් හා රෝහල් සෙසු කාර්ය මණ්ඩලය තුවාලකරුවන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදීමට පියවර ගත් බවද රෝහල් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
හම්බන්තොට රෝහලට ඇතුළත්කර ඇති තුවාලකරුවන් අතර ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් සිටියි. තුවාලකරුවන් 12 දෙනකු දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරත් සමඟ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පෙරවරුවේ පැවැතිණි. අනතුර සිදුවූ බස් රථ දෙක බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ඉවත් කිරීම සිදු කෙරිණි. බස් රථ දෙකේම ඉදිරිපස කොටස් දැඩි ලෙස හානි සිදුව තිබිණි. රියැදුරන් දෙදෙනාද තුවාලකරුවන් අතර සිටින බව සඳහන්ය.
“මම බයික් එකෙන් ආවේ. ඒ එනකොට මෙතන පාර පේන්නේ නැති ගානටම පාර හරහා දුම යනවා. මමත් බස් එකට පිටි පැත්තෙන් ආවේ. ඒ හරියේ පාර හොඳටම පේන්නේ නැති ගානට දුම තිබුණා. පිදුරුවලට ගිනි තියපු එකේ දුමාරය තමා පාර හරහා ගිහින් තිබුණේ. මම බයික් එක අයින් කරලා තප්පර කීපයක් ගියේ නෑ, ඒත් එක්කම ආව බස් එක මොකක හරි මහා ශබ්දයක් නඟමින් හැප්පුණා. මිනිස්සු කෑ ගහනවා ඇහුණා. ගිහින් බලද්දි බස් දෙකක් එකට හැප්පිලා තිබ්බා පාර පෙනුණේ නැති නිසයි මේ අනතුර සිදු වුණේ.” යැයි සිද්ධිය ඇසින් දුටු යතුරුපැදිකරුවකු මෙම බිහිසුණු අනතුර පිළිබඳව පැවසීය. අනතුර සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව වීරවිල පොලීසිය සඳහන් කරයි.
සූරියවැව – නුවන් ජයසේකර,
ලුණම සමූහ – සනත් ගමගේ,
තංගල්ල සමූහ – පද්මසිරි
ගාර්දියවසම්







