සිලි බෑග් භාවි­තය 50%කින් අඩු වෙලා

සිලි බෑග් සඳහා මිල නියම කිරී­මෙන් පසුව සිලි බෑග් භාවි­තය සිය­යට 50කින් අඩු වී ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන කට­යුතු පිළි­බඳ ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පැව­සීය.

මීට මාස 6කට පෙර දෛනි­කව මිලි­යන 26 බැගින් එකතු වූ සිලි­බෑග් ප්‍රමා­ණය මේ වන­විට මිලි­යන 13ක් දක්වා අඩු වී ඇතැයි ද ඒ මහතා පැව­සීය.

ඒ මහතා මෙසේ පැව­සුවේ අමා­ත්‍යාං­ශයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමු­ව­කට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේ ද පැව­සීය.

පාරි­භෝ­ගික භාණ්ඩ­වල ගුණා­ත්ම­ක­භා­වය මතයි පාරි­භෝ­ගික විශ්වා­සය පව­තින්නේ. පාරි­භෝ­ගික ජන­තා­වට ගුණා­ත්මක භාණ්ඩ‍යක් ලබා ගැනී­මට තිබෙන අයි­තිය ආරක්ෂා කිරී­ම­ටයි අධි­කා­රිය කට­යුතු කරන්නේ. ඒ වෙනු­වෙන් අධි­කා­රිය විශාල කාර්ය­භා­ර­යක් ඉටු­කළා. ඒ අත­රින් ෂොපින් බෑග් භාවි­තය අවම කරන්න මිලක් අය කළා. මෙයට විවේ­චන ආවත් අද වෙන­කොට සුපිරි වෙළ­ඳ­ස­ල්වල සිට ගමේ කඩේ දක්වා මෙය ක්‍රියා­ත්මක කර­නවා. මේ නිසා සාමා­න්‍ය­යෙන් භාවිත කළ ෂොපින් බෑග් ප්‍රමා­ණය 50%කින් අඩු­වෙලා. ඒ වගේම විකල්ප බෑග් භාවි­ත­යට ඇවිත්. එයයි අපේ උත්ස­හය වුණේ.

දරු­වන්ගේ වතුර බෝතල් හා කෑම පෙට්ටි ගුණා­ත්ම­ක­භා­ව­යෙන් තිබිය යුතු බව අපි නිෂ්පා­ද­ක­යින්ට කිව්වා. ඒ සදහා අප්‍රේල් 01 දක්වා මාස 6ක කාල­යක් නිෂ්පා­ද­ක­යින්ට හා ආන­ය­න­ක­රු­වන්ට අපි ලබා දුන්නා. 2025 ඔක්තෝ­ම්බර් මස 01 දින මෙයට අදාළ ගැසට් පත්‍රය අනුව ඉදි­රි­යේදී අපි කට­යුතු කර­නවා. එහි දිය­ර­මය පාන රැගෙන යාමට එක් වර­කට වඩා වැඩි­යෙන් භාවිත කරන වතුර බෝතල් සම්බ­න්ධ­යෙන්, ළද­රු­වන්ට ආහාර ලබා­දී­මට ප්ලාස්ටික් ද්‍රව්‍ය­ව­ලින් සාදන ලද බෝතල් හා කෑම පෙට්ටි සඳහා පිරි­වි­තර අපි ඇතු­ළත් කර තිබෙ­නවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආය­ත­න­යෙන් අනු­මත කරන රසා­ය­නික ද්‍රව්‍ය­ව­ලට වඩා වැඩි­යෙන් රසා­ය­නික ද්‍රව්‍ය තිබෙ­නවා නම් පාරි­භෝ­ගි­ක­යාගේ ආර­ක්ෂාව වෙනු­වෙන් ඒවා වෙළෙ­ඳ­පො­ළෙන් ඉවත් කරන්න වගේම පන­තට අදා­ළව නීත්‍ය­නු­කූ­ලව කට­යුතු කර­න්නත් පිය­වර ගන්නවා. ගැබිනි මාතා­වන්, දරුවෝ තමයි මේ දේවල් පාවිච්චි කරන්නේ.

ඒ වගේම ඉදිරි දින කිහි­පය තුළ පාරි­භෝ­ගි­ක­යාගේ ආර­ක්ෂාව වෙනු­වෙන් සැලෝන් නිරී­ක්ෂ­ණය කර­න්නත් තීර­ණය කර තිබෙ­නවා. රූප­ලා­ව­ණ්‍යය නිෂ්පා­ද­න­වල තිබිය යුතු බැර ලෝහ ප්‍රමා­ණය නිර්දේශ කර තිබෙ­නවා. සාමා­න්‍ය­යෙන් ශ්‍රී ලංකා ප්‍රමි­තිය අනුව කිලෝ­ව­කට රස­දිය මිලි­ග්‍රෑ­ම­යයි තියෙන්න පුළු­වන්. නමුත් සම­හර නිෂ්පා­ද­න­වල අධික රස­දිය ප්‍රමා­ණ­යක් තිබෙ­නවා. මේ ප්‍රමි­තී­න්ව­ලින් තොරව, සමාජ මාධ්‍ය භාවිත කර­මින් පාරි­භෝ­ගි­කයා රව­ටන නිෂ්පා­දන විකු­ණ­නවා. මෙයින් අන­වශ්‍ය බැර­ලෝහ ප්‍රමා­ණ­යක් ශරී­ර­යට එනවා. මෙවැනි ප්‍රමි­ති­යෙන් තොර භාණ්ඩ නිෂ්පා­දන කරන අය, විකු­ණන අයට විශේ­ෂ­යෙන් සැලෝන් දැනු­වත් කර­නවා. ඒ වගේම පාසල් දැරි­යන් මේ සම්බ­න්ධ­යෙන් දැනු­වත් කරන්න පිය­වර ගන්නවා. වෙළෙ­ඳ­පොළේ සාම්පල් ටෙස්ට් කිරී­මත් ආරම්භ කර­නවා.

ඉදිරි උත්සව සමයේ මිලදී ගැනීම් කරන විට ලහි ලහියේ මිල වැඩි කර­මින් අනා­ර­ක්ෂිත ප්‍රමි­ති­යෙන් තොර භාණ්ඩ විකු­ණ­නවා. මේ නිසා අපි මාර්තු මස 18 වැනිදා සිට පාරි­භෝ­ගික පැමි­ණිලි සම්බ­න්ධ­යෙන් කඩි­නම් විම­ර්ශ­න­ව­ලට යොමු වෙනවා. 1971ට කතා කරලා පැමි­ණිලි කළ හැකියි. සවස 4.30න් පසුව ලැබෙන පැමි­ණිලි රෙකෝඩ් කර විම­ර්ශ­න­යට පිය­වර ගන්නවා. මේ අතරේ තව දුර­ටත් පාරි­භෝ­ගික ආර­ක්ෂාව වෙනු­වෙන් අදාළ පිය­වර ගන්නවා.

රන්මලී සෝම­සිරි