නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කිරීමට නියෝග

නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු, කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කර තිබෙනවා.

එම චෝදනාවලට අදාළව නිකුත් කරනු ලැබූ නියෝගයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ද වරදකරු කෙරුණු එම තැනැත්තියට වසරක සිර දඬුවම් නියම කොට, එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද නියම කළ විනිසුරු මඩුල්ල, එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතර මාස හයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

2023 වසරේ ජූලි මස 27 වැනිදා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු ගොනුවක පිටු දෙකක් ගලවා සපා කා හානි සිදු කිරීම තුළින් නීතිඥ ආචාර ධර්මවලට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් එම තැනැත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණා.

එම චෝදනා විභාග කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, විභාගය අවසන් වන තෙක් වගඋත්තරකාරියට නීතිඥ වෘත්තියේ නිරත වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය උල්ලංඝනය කරමින් වගඋත්තරකාරිය යළි නීතිඥ වෘත්තියේ නිරත වී ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව, ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් ද නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණු බවයි සඳහන් වන්නේ.

මෙම චෝදනා පත්‍ර දෙකටම මුල් අවස්ථාවේදී තමන් නිවැරදිකාරිය බව වගඋත්තරකාරිය ප්‍රකාශ කර තිබුණ ද, පසුව එම චෝදනාවලට තමන් වරද පිළිගන්නා බව ඇය අධිකරණයට දැනුම් දී තිබුණා.