නවදිල්ලිහි පැවති India Today Conclave 2026 සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් රටවල් අතර වැඩි සහයෝගිතාවක් සහ සංවාදයක් අවශ්‍ය බව පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව ඉරාන නෞකාවක් ගිලී යාමෙන් කලාපීය ස්ථාවරත්වයට බලපෑම් ඇතිවිය හැකි බවද ඔහු අනතුරු ඇඟවනු ලැබුවා.
“The Indian Ocean Faultline: Sri Lanka’s Geopolitical Balancing Act” යන මාතෘකාවෙන් පැවති මෙම සංවාදය Rajdeep Sardesai සහ Nagarajan Dwarkanath විසින් මෙහෙයවනු ලැබුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද පැවසුවා.
බටහිර ආසියාවේ පවතින ගැටුම් තත්ත්වය අතරතුර ශ්‍රී ලංකා වෙරළට ආසන්න මුහුදේදී IRIS Dena නමැති ඉරාන නාවික නෞකාව ගිලී යාම පිළිබඳවද නාමල් රාජපක්ෂ සඳහන් කළා.
මෙම නෞකාව මීට පෙර ඉන්දියානු නාවික හමුදාව සමඟ විසාකපට්ටම් අසල නාවික අභ්යාසවලටද සහභාගී වී තිබූ බව සඳහන් .
මෙම සිද්ධියෙන් ඉරාන නාවිකයන් 80කට අධික පිරිසක් මියගොස් ඇති බවත්, ජීවිත බේරාගත් කිහිප දෙනෙක් ගාල්ල සහ කොළඹ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන් කෙරුණා.
“ඉන්දියන් සාගරය දිගුකාලයක් තිස්සේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා ආරක්ෂිත කලාපයක් ලෙස සැලකුණා.
විදේශීය නෞකාවකට එල්ල වූ මෙම ප්‍රහාරය කලාපයට අලුත් හා කනස්සල්ල ජනක තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා,” යැයි ඔහු පැවසුවා.
ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළු කලාපීය රටවල් එක්ව මුහුදු ආරක්ෂාව තහවුරු කිරීමට වැඩ කළ යුතු බවද ඔහු අවධාරණය කළා.
එසේම Colombo Security Conclave වැනි කලාපීය ආරක්ෂක සංවිධාන හරහා සහයෝගිතාව වැඩි කිරීම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නා.
ආර්ථික හා යුධ ශක්තිය හේතුවෙන් ඉන්දියාවට මෙහි නායකත්ව භූමිකාවක් ඉටු කළ හැකි නමුත්, කලාපයේ සියලු රටවල් එක්ව ක්‍රියා කිරීම අවශ්‍ය බවද ඔහු පැවසුවා.
මෙම සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලීමේ අයිතිය ශ්‍රී ලංකාවට ඇති බවද නාමල් රාජපක්ෂ සඳහන් කළා.
“අපගේ මුහුදු සීමාවට ආසන්නව සිදු වූ දේ නොසලකා හැරිය නොහැක. එහි සිදු වූයේ කුමක්දැයි විමසීමට ශ්‍රී ලංකාවට අයිතියක් තිබෙනවා,” යැයි ද ඔහු පැවසුවා.
බටහිර ආසියාවේ ගැටුම් තත්ත්වය ශ්‍රී ලංකා ආර්ථිකයටද දැඩි බලපෑමක් ඇති කළ හැකි බව ඔහු අනතුරු ඇඟවුවා.
ඉන්ධන ආනයනය, විදේශ රැකියා මුදල් ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තය සඳහා ශ්‍රී ලංකාව බටහිර ආසියාව මත බෙහෙවින් රඳා පවතින බවද ඔහු පැවසුවා.
එමෙන්ම Strait of Hormuz වටා ඇති උණුසුම් තත්ත්වය ගෝලීය බලශක්ති සැපයුමටද බලපානු ඇති බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළා.







