මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේදයක් තහවුරු කිරීම සඳහා නිවෙසේ සිට රාජකාරි කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
පවතින තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යෑමේදී මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (15) හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මේ උපදෙස් දෙනු ලැබීය.
සෞඛ්‍ය, අධ්‍යාපන, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර ආදී ක්ෂේත්රයන් පිළිබඳ අවධානය යොමු වූ අතර එක් එක් ක්ෂේත්රය තුළ යාවත්කාලීන ඉන්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මෙහිදී එක් එක් අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.
මතු වූ කරුණු පිළිබඳ සලකා බැලූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය වැනි ක්ෂේත්රයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්රාදේශීයව පවත්වාගෙන යෑමේ හැකියාව තවදුරටත් සොයා බලන ලෙසයි.
එසේම නිෙවසේ සිට රාජකාරි සිදු කිරීමේ හැකියාව පිළිබඳ තවදුරටත් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා ලේකම්වරුන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
ඉදිරියේදී මතු විය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව උපකල්පන ඉදිරිපත් කළ නොහැකි බැවින් ඉදිරියේදී මතු විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණදීම සඳහා පෙර සූදානමක අවශ්‍යතාවත්, ඒ වෙනුවෙන් තවදුරටත් දැනට හඳුන්වාදී ඇති ඩිජිටල් කේත ක්‍රමය විධිමත් කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී දැනට හඳුන්වාදී ඇති ඩිජිටල් කේත ක්රමයේ පවතින අඩුපාඩු හැකි ඉක්මනින් නිවැරදිව සකස් කර යාවත්කාලීන කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය. එසේම මතු වන නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සහ අවධානයෙන් සිටිය යුතු බවත්, එක් එක් අංශයන් වෙනුවෙන් වෙන් වෙන්ව තීන්දු තීරණ ගැනීම වෙනුවට සමස්තයක් ලෙස සලකා බලා පවතින අභියෝගයට අදාළ විකල්ප ක්‍රමවේදයන් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව යුහුසුලුව මැදිහත් වන ලෙසද උපදෙස් ලබා දුන්නේය.
මේ අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, ජනාධිපති ඩිජිටල් ආර්ථික උපදේශක හාන්ස් විජේසූරිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම් වරුණ ධනපාල, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශ ලේකම් කෝලිත කමල් යන මහත්ම මහත්මීන් සහ ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.







