QR ක්‍රමයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමය හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවා සඳහා බාධා ඇති වීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති කේ.ඒ.පී බොරලැස්ස මහතා පැවසුවේ QR ක්‍රමය හේතුවෙන් ක්ෂේත්‍රගත රාජකාරි සිදුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය සේවා පවත්වාගෙන යාමේදී මේ වන විට අර්බුදයකට ලක්ව ඇති බවය.

මෙම නව ක්‍රමවේදය හරහා සතියකට යතුරුපැදියක් සඳහා නිකුත් කරන පෙට්‍රල් ලීටර් 05 මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ ක්ෂේත්‍ර සේවා කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවත් පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ බොහෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෛනිකව ග්‍රාම නිලධාරී කොට්ඨාස 04ක සිට 10 අතර ප්‍රමාණයක නිවාරණ සෞඛ්‍ය සේවා ඉටු කරන බවය.

ඒ සඳහා රජය විසින් ලබා දී ඇති යතුරුපැදි යොදා ගන්නා බවත් මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයාවද මේ වන විට දැනුවත් කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් නිවාරණ සෞඛ්‍ය සේවා බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම සංගමය ඉල්ලීමක් සිදුකළ බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.