මැදපෙරදිග සහ බටහිර ආසියානු කලාපය තුළ ශීඝ්‍රයෙන් උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව සිය දැඩි කනස්සල්ල පළ කර සිටිනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
මෙම තත්ත්වය සිවිල් ජනතාවගේ ජීවිතවලට සෘජු තර්ජනයක් එල්ල කර ඇති බව රජය පෙන්වා දී තිබෙනවා.
ගැටුම් හේතුවෙන් සිදුවන ඛේදජනක සිවිල් ජීවිත හානි පිළිබඳව සිය කණගාටුව පළ කරන ශ්‍රී ලංකාව, සිවිල් වැසියන් සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් දැඩි ලෙස හෙළා දකින බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
සියලුම පාර්ශවයන් විසින් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ පවතින මූලික වගකීමක් බව ද රජය අවධාරණය කරනවා.
මේ වන විට නිර්මාණය වී ඇති දරුණු මානුෂීය අර්බුදය මෙන්ම, මෙම තත්ත්වය ගෝලීය ආර්ථිකයට සහ ජාත්‍යන්තර වෙළඳාමට එල්ල කරන සෘජු බලපෑම පිළිබඳව රජය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද එහි සඳහන්.
මෙම නොසන්සුන්කාරී වාතාවරණය ලොව පුරා සියලුම රටවල් කෙරෙහි අහිතකර ප්‍රතිඵල ඇති කරනු ඇතැයි ද ශ්‍රී ලංකාව පෙන්වා දෙනවා.
ඕනෑම රාජ්‍යයක භූමියේ අඛණ්ඩතාවට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය භාවිත කිරීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලධර්ම හා අරමුණුවලට ගරු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා රජය මෙහිදී යළිත් අවධාරණය කර සිටිනවා.
සියලුම රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භූමියේ අඛණ්ඩතාව වෙනුවෙන් පෙනී සිටින රටක් ලෙස, පවතින දරුණු තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, වහාම සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වන ලෙසත් ශ්‍රී ලංකාව සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.
කලාපයේ සහ ඉන් ඔබ්බට පවතින ස්ථාවරත්වය, සාමය සහ ආරක්ෂාවට එල්ල වී ඇති බරපතල තර්ජනය සැලකිල්ලට ගනිමින්, අර්ථවත් සංවාදයක නිරත වන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීමට තීරණාත්මක පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව වැඩිදුරටත් බලකර සිටින බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ.







