මාධ්‍ය තුළින් ලබා දෙන තොරතුරු පිළිබඳ විශ්වාසය දුර්වලවීම සමාජයකට ඉතාමත්ම භයානක බවත්, සමාජ මාධ්‍ය තුළ තොරතුරු බෙදාහැරීමට පෙර සත්‍ය අසත්‍යතාව ගැන සැලකිළිමත් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.
අගමැතිවරිය මේ බව සඳහන් කළේ, ශ්‍රී ලාංකීය පාසල් සිසුන් හට සදාචාරය, වගකීම සහ විවේචනාත්මක චින්තනය ප්‍රවර්ධනය කරමින් ජාතික මාධ්‍ය කතිකාවතට සක්‍රීයව දායක වීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ ඊයේ (14) පැවැති “සංදේශය” මාධ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අමතමින්.
කොළඹ ආනන්ද විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සංවිධානය කළ “සංදේශය” සම්මාන උලෙළේදී මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යාවජීව සම්මාන පිරිනැමීමත්, පාසල් අංශයේ දක්ෂයින් වෙනුවෙන් මාධ්‍ය සම්මාන පිරිනැමීමත් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවා.
අද අපි ජීවත් වෙන්නේ තොරතුරු තාක්ෂණය මාධ්‍ය කියන එක ඉතාමත්ම වේගයෙන් වෙනස් වෙන යුගයක. ඒ වෙනස්වීමත් සමඟ අපිට අවස්ථා බොහොමයක් උදාවෙනවා වගේම අභියෝග ගණනාවකටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. තොරතුරු තාක්ෂණයෙන් සහ මාධ්‍යය විසින් වෙනස් කරන ලද සමාජයක, වෙනස් කරන ලද ලෝකයක ජීවත්වීමට තමයි අපේ දරු පරපුර අපි සූදානම් කළ යුත්තේ.
මාධ්‍ය තුළ අද වෙලා තියෙන ඒ වෙනස්කම් දකිනකොට අපිට කියන්න පුළුවන් දෙයක් තමයි මාධ්‍ය සහ තොරතුරු කියන එක ප්‍රජාතන්ත්‍රීකරණයට ලක්වෙලා තියෙනවා කියලා. අතීතයේ ගත්තොත් දැනුම තොරතුරු කියන එකට ප්‍රවේශ අයිතිය තිබුණේ වරප්‍රසාදිත එහෙම නැත්නම් බලය තියෙන කණ්ඩායම්වලට.
තොරතුරු, දත්ත, දැනුම කියන දේ සන්නිවේදනය කළ හැකි විදියත්, ඒක මොකක් විය යුතුද කියලා තීරණ ගැනීමේත් බලය තිබුණේ කුඩා කණ්ඩායමකට. නමුත් අද වෙනකොට මේ තාක්ෂණය වෙනස් වෙලා. ඒ විප්ලවීය වෙනසත් එක්ක අද තොරතුරු දත්ත දැනුම කියන එක අපි හැමෝටම ළං වෙන්න පුළුවන් දෙයක් බවට පත්වෙලා තියෙනවා. එතකොට එක අතකින් ඒක හොඳ දෙයක්.
ඒවගේම අපි මාධ්‍ය නරඹන්නන් විතරක් නෙවෙයි, පාරිභෝගිකයන් විතරක් නෙවෙයි. පුරවැසියන් හැටියටත් අද දවසේ මාධ්‍යකරුවෙක් වෙන්න පුළුවන්. පුරවැසියන්ට මාධ්‍ය හසුරුවන්නත්, තොරතුරු බෙදා ගන්නත් විශාල අවකාශ අද බිහිවෙලා තියෙනවා. ඒක එක අතකින් ඉතාමත්ම හොඳ දෙයක්. නමුත් මේක තුළ භයානක කමකුත් තියෙනවා. ඒ තමයි ඒ තොරතුරු බෙදා දීම ඒ මාධ්‍යකරණය පිළිබඳ වගකීම සහ විශ්වාසනීය බව පිළිබඳ බරපතල ප්‍රශ්න, ගැටලු අභියෝග ගණනාවකට අපි මුහුණ දෙන්න වෙලා තිබෙනවා.
අද අපිට ඇත්ත මොකක්ද කියන එක ගැන විශ්වාසනීයත්වයක් නැතිවෙන තරමට තොරතුරු ගලාගෙන එනවා. සමහර වෙලාවට තීරණ ගන්න අතිශයින්ම අමාරු වෙලා තියෙනවා. අපේ රටේ විතරක් නෙවෙයි ගෝලීයව බලනකොට වුණත් සමහර වෙලාවට වැරදි තොරතුරු මත එහෙම නැත්නම් ඕනකමින් විකෘති කරපු තොරතුරු මත සමාජ ගිනි අරගත්ත අවස්ථා තියනවා. මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙච්ච අවස්ථා අපි ඕනතරම් දැකලා තියෙනවා.
අන්තර්ජාලයට අපි දන්නෙත් නැතුව සමහර වෙලාවට අහුවෙනවා. අපි ඕන දේවල් නැති දේවල් සියල්ලම අපි අපේ සමාජ මාධ්‍ය හරහා බෙදා ගන්නවා. නමුත් අපිට අමතක වෙන දෙයක් තමයි මේ තළින් පුද්ගලික තොරතුරු ගණනාවක් අන්තර්ජාළය තුළ එක්රැස්වෙමින් යනවා.
මොනවා හරි වැරදි දෙයක් මේ විදිහට සමාජගත වුණාම ඒක අමතක කරවන්න අමාරුයි. අසත්‍ය තොරතුරු බෙදා හැරීමෙන් මාධ්‍ය තුළින් ලබා දෙන තොරතුරු පිළිබඳ විශ්වාසය දුර්වල වෙනවා කියන එක සමාජයකට ඉතාමත්ම භයානක දෙයක්. සමාජයේ පැවැත්මට පුරවැසියන් අතර විශ්වාසනීයත්වය පුරවැසියන්ගේ ජීවිත වලට බලපෑම් කරන ආයතන විශ්වාසනීයත්වය පවත්වාගෙන යෑම අතිශයින්ම වැදගත්. ඒ හරහා තමා සමාජයක තිරසාර බවත්, සමාජයක පැවැත්මත්, සමාජයක සුරක්ෂිත භාවයත් අපිට රැක ගන්න පුළුවන් වෙන්නේ.
නමුත් වැරදි තොරතුරු ප්‍රචාරය නිසා අද මොනවද සිද්ධ වෙලා තියෙන්නේ? අපේ නායකයන් පිළිබඳ අපිට විශ්වාසයක් නෑ. වැඩිහිටියන් විශ්වාස කරන්නෙත් නෑ. අපිට ලැබෙන ප්‍රවෘත්තිය අපි විශ්වාස කරන්නේ කොහොමද කියන එක ගැන අපිට සැක ඇවිල්ලා තියෙනවා.ඒ විශ්වාසනීයත්වය සමාජයක් තුළ. දුර්වල වෙන එක තුලින් සමාජයක් අර්බුදයකට යන්න පුළුවන්.
ඒ නිසා තමන්ගේ නායකත්වය පිළිබඳ විශ්වාසනීයත්වය වර්ධනය වෙන විදියේ සංස්කෘතියක් ඇති කිරීම, වැඩිහිටියන් පිළිබඳ විශ්වාසනීයත්වයක් ඇති කිරීම, විශ්වාසනීය තොරතුරු ලබා ගත හැකි විධි ක්‍රම ගැන යම්කිසි අවබෝධයක් ඇති කිරීම මේ සියල්ලම සමාජයේ පැවැත්මකට අතිශයින්ම වැදගත්. ඒ නිසා මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ඔබට විශාල වගකීමක් තිබෙනවා.
ඒ වගේම තමයි කුමන හෝ මාධ්‍යයක් භාවිත කරන අය හැටියට ලැබෙන තොරතුරු ගැන විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත්, සත්‍ය අසත්‍යය කියන එක තෝරා බේරා ගැනීම පිළිබඳ දැනුවත් වීමටත් අපිට විශාල වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ඩිජිටල් සාක්ෂරතාවය සහ මාධ්‍ය සාක්ෂරතාවය කියන එක අත්‍යවශ්‍ය දෙයක් හැටියට අපි දකින්නේ. ඒ නිසාම තමයි අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මෙන්න මේ වගේ විෂයන්, සංකල්ප ඉගෙන ගන්න අපේ ශිෂ්‍ය පරපුරට අවස්ථාව ලබා දිය යුතුයි කියලා අපි හිතන්නේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්. එල්. පී. දිසානායක ඇතුළු මාධ්‍යවේදීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් සිසුන්විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.







