වයස අවුරුදු 3 සිට 5 දක්වා කුඩා දරුවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය හරහා අධ්‍යාපනය ලබාදීම අධ්‍යාපන මනෝවිද්‍යාත්මක මූලධර්ම හා ළමා සංවර්ධන ක්‍රමවේදයන්ට නොගැලපෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පෙර පාසල් සහ ප්‍රාථමික අංශයේ දරුවන් ඉලක්ක කරගෙන වර්තමානයේ පැවැත්වෙන මාර්ගගත සම්මන්ත්රණ සහ පන්ති සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් මේ වනවිට අනාවරණය වී ඇති බවයි.
අධ්‍යාපන මනෝවිද්‍යාත්මක මතයන් අනුව වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවෙකුගේ ඉගෙනුම් ක්‍රියාවලිය ක්‍රියාකාරකම් මත පදනම් වූ සහ සමාජීය අන්තර්ක්‍රියා ඇති පරිසරයක සිදු විය යුතු බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එවැනි වයස් කාණ්ඩයේ දරුවන් දිගු කාලයක් තිරයක් දෙස බලා අධ්‍යාපනය ලබාගැනීම සමාජීය කුසලතා වර්ධනයට බාධාවක් වන අතර අවධානය රඳවා ගැනීමේ හැකියාව ද අඩාල කළ හැකි බවත්, නිර්මාණාත්මක චින්තනයටද එය අහිතකර විය හැකි බවත් එහි සඳහන්වේ.
රජයේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා සංවර්ධන ප්‍රතිපත්ති අනුව පූර්ව ළමාවිය සංවර්ධනයේදී දරුවා සජීවීව පරිසරය සමග සම්බන්ධ වී අත්දැකීම් හරහා ඉගෙනීම වැදගත් බවද නිවේදනයෙන් අවධාරණය කර තිබේ.
එමෙන්ම කුඩා දරුවන් තාක්ෂණික උපකරණවලට අධික ලෙස නිරාවරණය කිරීම ඔවුන්ගේ මානසික හා කායික සෞඛ්‍යයට, විශේෂයෙන්ම මොළයේ වර්ධනයට අහිතකර විය හැකි බැවින් එවැනි වයස් කාණ්ඩ සඳහා මාර්ගගත පන්ති පැවැත්වීම අනුමත නොකරන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
වාණිජ අරමුණු මත සංවිධාන කරන මෙවැනි සම්මන්ත්රණ මගින් දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රමිතිය සැලකිය යුතු ලෙස ඉහළ නොයන අතර, ඔවුන්ගේ ස්වභාවික වර්ධනයටද බාධා ඇතිවිය හැකි බවද අමාත්‍යාංශය දෙමාපියන්ට දැනුම් දී තිබේ.
ඒ අනුව දරුවන්ගේ මානසික හා කායික සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වෙමින් මෙවැනි ක්‍රියාකාරකම් සඳහා ඔවුන් යොමු කිරීමෙන් වැළකී සිටින ලෙස අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි.
එමෙන්ම කුඩා දරුවෙකුට හොඳම ගුරුවරයා වන්නේ ඩිජිටල් තිරයක් නොව, පරිසරය සහ සජීවී අත්දැකීම් බවද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර තිිබේ.







