දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනාට දින 07 ක රැඳවුම් නියෝග

දකුණු මුහුදේ දී බහුදින ධීවර යාත්‍රා දෙකක තිබී මත්ද්‍රව්‍ය සහ ආයුධ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 07 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ සැකකරුවන් 10 දෙනෙකු සහ ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබුණු අතර, ඔවුන් පසුගිය 12 වැනිදා දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබුණා.

අදාළ සැකකරුවන් අවුරුදු 22 – 49 අතර වයස්වල පසුවන ඉරණවිල, මහවැව, මැල්සිරිපුර, වෙන්නප්පුව, මීගමුව, නාකුළුගම, තංගල්ල, නෙටොල්පිටිය හා ගන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පැවසෙන්නේ.

හෙරොයින් කිලෝග්‍රෑම් 176 ග්‍රෑම් 568 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478 ග්‍රෑම් 326 ක් සන්තකයේ තබාගැනීම, එම මත්ද්‍රව්‍ය ආනයනය හා ජාවාරම් කිරීම, පිස්තෝල අවි 8 ක්, මැගසින් 15 ක්, T-56 අවි 2 ක්, M16 වර්ගයේ ගිනි අවියක් හා එම මැගසින් 04 ක් ආනයනය කිරීම හා සන්තකයේ තබාගැනීම, එම වැරදි සඳහා ආධාර අනුබල දීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී හමුවූ කිලෝග්‍රෑම් 654 ක පමණ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10 කට අධික බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.