අධික උණුසුම් කාලගුණ තත්ත්වය නිසා, මේ වන විට පාසල්වල පැවැත්වෙන ක්‍රීඩා ඉසව්හිදී වැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.
උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ සෞඛ්‍ය අවදානම් අඩුකර ගන්නේ කෙසේද සහ ක්‍රීඩා ඉසව් සංවිධානය කිරීමේ දී අවධානයට ලක්විය යුතු කරුණු පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව පවසා සිටියා.
පාසල් ක්‍රීඩා කටයුතුවලදී මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා තරග අවම කිරීම, සිසුන්ට නිතර විවේකය ලබාදීම, දරුවන් සිසිල් ස්ථානයකට යොමු කිරීම මෙන්ම ජලය හෝ ලවන අඩංගු පානයන් ලබාදීම මෙහිදී ඉතා වැදගත් වන බවයි එහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.
මෙම තත්ත්වයන් හඳුනා නොගෙන, දරුවන්ගේ ශරීර උෂ්ණත්වය සහ තාපය වැඩිවුව හොත්, ඉතා සංකීර්ණ සංකූලතා වගේම තාප කම්පන තත්ත්වයක් දක්වා ගමන් ගැනීමට හැකි බවද, සමහරවිට මාරාන්තික තත්ත්වයක් දක්වා ගමන් කළ හැකි බවද ඔහු සඳහන් කර සිටියා.
යම්කිසි දරුවෙක් ක්ලාන්ත ගතිය, මහන්සි ගතිය, හිස කැරකැවිල්ල, කල්පනා ගතිය ආදී ලක්ෂණ පෙන්වනවා නම්, ඔවුන් ඉක්මනින් තාපය පවතින ස්ථානයකින් ඉවත් කර, යම් සිසිල් ස්ථානයකට රැගෙන ගොස් ජලය පානය කිරීමට හැකි නම් එය ලබාදීම වැදගත් වන බවත්, එසේම, මෙම තත්ත්වය වැඩිදුරටත් පවතින්නේ නම්, හැකි ඉක්මනින් ළඟම ඇති රජයේ රෝහලකට යොමු කිරීම වැදගත් වන බවයි විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා වැඩිදුරටත් පවසා සිටියේ.







