රුපියල් දසදහසකට ගත් ‘චෙකොස්ලෝවැකියානු’ පිස්තෝලය සමඟ කරවල වෙළෙන්දෙක් අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත නවීන පන්නයේ ගිනිඅවියක් සහ ජීව උණ්ඩ තොගයක් සන්තකයේ තබාගෙන සිටි කරවල වෙළෙන්දෙකු හම්බන්තොට, මරේ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට, මරේ පාර පදිංචි 50 හැවිරිදි වියේ පසුවන කරවල වෙළඳාමේ නිරත පුද්ගලයෙක්. මෙම වැටලීම සිදුකර ඇත්තේ ඊයේ (12) සවස් කාලයේදීයි.

සැකකරු සන්තකයේ නීතිවිරෝධී ගිනිඅවියක් ඇති බවට පොලිස් නිලධාරීන්ට ලද පෞද්ගලික තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණා.

එහිදී සැකකරු සන්තකයේ තිබී චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත CZ 75 වර්ගයේ මිලිමීටර් 9 (9mm) වර්ගයේ පිස්තෝල අවියක් සහ ඒ සඳහා භාවිත කරන ජීව උණ්ඩ 05ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, මීට වසර තුනකට පමණ පෙර දැනට විදේශගතව සිටින පුද්ගලයෙකුගෙන් රුපියල් 10,000ක මුදලකට මෙම ගිනිඅවිය මිලදී ගෙන තිබූ බවයි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇති අතර, ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.