පළා යාමට තැත් කළ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් අත්අඩංගුවට

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු අද (12) දහවල් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නියාමකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කර සිටි අම්බලන්ගොඩ, මාදම්පේ ප්‍රදේශයේ පදිංචි රැඳවියෙක් මෙලෙස පළා යාමට තැත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සැකකරු බන්ධනාගාරයේ සැකකරුවන් ලියාපදිංචි කිරීමේ අංශයේ වහලය මතට නැඟ, අනතුරුව අමුත්තන් පෙන්වන ගොඩනැගිල්ලේ වහලය මත දිව යමින් පළා යාමට උත්සාහ කර තිබෙනවා. 

එම අවස්ථාවේදී, මුර අට්ටාලයේ රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නියාමකවරයෙකු විසින් අහසට වෙඩි තබා ඔහු බියගන්වා ඇති අතර, වෙඩි හඬත් සමඟ බියට පත් වූ රැඳවියා බන්ධනාගාර ප්‍රධාන දොරටුව අසල තිබූ වැලි ගොඩකට පැන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ බන්ධනාගාර නියාමකවරුන් ඔහුව යළි අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.