ඉදිරි උත්සව සමයත් සමඟ අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉදිරියේ පැමිණෙන උත්සව සමයත් සමඟ, විශේෂයෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය තුළ වට්ටම්, තෑගි මුදල් හෝ විශේෂ ප්‍රවර්ධන ලෙස පෙනෙන ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සහ සබැඳි (Links) අන්තර්ජාලය හරහා පැතිර යෑමේ අවදානම වැඩි බවයි එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල සඳහන් කළේ.
එවැනි සබැඳි හරහා ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු සහ වැදගත් දත්ත සොරා ගැනීමේ අවදානම පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වෙසක් සහ පොසොන් උත්සව සමයන් සමඟ “පොසොන් මහා ඩේටා දන්සල” වැනි විවිධ නාමයන් යටතේ ද පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන වංචා ක්‍රියා සිදු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.







