අලුතින් මෙරටට ගෙන්වූ පතුල පහත් බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති ප්‍රදේශ ගැන දැනුම්දීමක්

මෙරටට ගෙන්වන ලද පතුල පහත් (Low-floor) බස් රථ ලබන අප්‍රේල් මස මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට සැලසුම් කර ඇති බව, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන) සුගීෂ්වර සීනිපැල්ලගේ පවසනවා.

ඒ අනුව වායු සමනය කරන ලද මෙම බස් රථවල ඕනෑම මගියෙකුට සුව පහසුව ගමන් කළ හැකි අතර, ආබාධ සහිත පුද්ගලයන් හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ප්‍රමුඛතාව හිමි වන බවයි සඳහන් වන්නේ.

නිල ඇඳුමට අමතරව මෙම බස් රථ සඳහා යොදවන කාර්ය මණ්ඩලයට සිව් දින පුහුණුවක් ලබා දීමටද පියවර ගෙන ඇති අතර, රියදුරුගේ සහ කොන්දොස්තරවරයාගේ නම් බස් රථය තුළ පැහැදිලිව ප්‍රදර්ශනය කරන බවද ඔහු ප්‍රකාශ කළා.

මෙම බස් රථ යෙදවීමට සමගාමීව ඒවා ධාවනය කරන ගමන් මාර්ගවල පිහිටි බස් නැවතුම්පළවල් නවීකරණය කිරීමට පියවර ගෙන තිබෙනවා. කොට්ටාව මාකුඹුර සිට කඩවත දක්වාත්, කොට්ටාව මහරගම අපේක්ෂා රෝහල හරහා කොළඹ කොටුව දක්වාත් මෙම බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

කොට්ටාව මාකුඹුර සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන බස් රථය මාකුඹුර, කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ, බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, මරදාන සහ පුරහල හරහා කොළඹ කොටුවට ළඟා වනවා. මහරගම අපේක්ෂා රෝහල හරහා ධාවනය කරන බස් රථය මහරගම, නුගේගොඩ, කිරුළපන දක්වාත්, බේස්ලයින් මාර්ගය ඔස්සේ නාරාහේන්පිට, පෑලියගොඩ, මහර සහ කඩවත දක්වාත් ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර, එක් මාර්ගයකට බස් රථ 5 බැගින් යෙදවීමට නියමිතයි.

මෙම බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් අය කරන ගාස්තුව තවමත් සාකච්ඡා මට්ටමේ පවතින අතර, එය සාමාන්‍ය ගාස්තුවට වඩා වැඩි වන බවත්, ආබාධ සහිත පුද්ගලයන් සඳහා සහනදායී ගාස්තුවක් අය කිරීමේ හැකියාව ගැන සලකා බලමින් සිටින බවත් ජනාධිපති අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.